• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවන දිනයේදී සිය අණසක පතුරවයි !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය ආරම්භයේදී කඩුලු 5කට ලකුණු 298ක් රැස්කොට සිටියහ. අද දිනයේ ඕස්ට්‍රේලියානු ඉනීමට තවත් ලකුණු 31ක් එක්වන තැන කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරීගේ ඉනීම ලකුණු 28කදී නිමාවට පත් කරන්නට ප්‍රභාත් ජයසූරිය සමත් විය.


අනතුරුව පිටියට එක්වූ ඕස්ට්‍රේලියානු කිසිදු පිතිකරුවකුට ලකුණු 5 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ඒ අනුව පන්දුවාර 110ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. අගනා ඉනීමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් හතරේ පහර 16ක් සමගින් නොදැවුනු ලකුණු 145ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 118කට කඩුලු 6ක් දවාගැනීමට සමත් වූයේ මංගල ටෙස්ට් තරගයේ කඩුලු 6ක් දවාගත් තෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.


පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙසින් ලකුණු 6ක් රැස්කළ පැතුම් නිස්සංක දවාගැනීමට මිචෙල් ස්ටාක් සමත් විය. අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව ගාලු තණතීරුවේ කදවුරු බදින්නට විය.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 152ක් සබදතාවක් ගොඩනැගූහ.


හතරේ පහර 10ක් සමගින් ලකුණු 86ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් නායක දිමුත් කරුණාරත්නට අවාසනාවන්ත ලෙසින් ශතකය අහිමි විය. අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් රැස්කොට සිටියහ. නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් හතරේ පහර 9ක් සමගින් ලකුණු 84ක් රැස්කොට සිටියි.


ඕස්ට්‍රේලියානු පළමු ඉනීම - 364/10 (110)

ස්ටීව් ස්මිත්* 145(272), මානස් ලබුශේන් 104(156), උස්මාන් කවාජා 37(77), ඇලෙක්ස් කෙරී 28(61)

ප්‍රභාත් ජයසූරිය 6/118, කසුන් රාජිත 2/70 , මහීෂ් තීක්ෂණ 1/48


ශ්‍රී ලංකා පළමු ඉනීම - 184/2 (63)

දිමුත් කරුණාරත්න 86(165), කුසල් මෙන්ඩිස්* 84(152), ඇන්ජලෝ මැතිවුස්* 6(36)

මිචෙල් ස්ටාක් 1/28

0 views0 comments