• Chathura Ramanayake

ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වභාවය ධනාත්මක වීම මිස පීඩනයට ලක්වීම නෙවේ - භානුක


පහළොස්වන ආසියානු කුසලාන තරගාවලිය ඊයේ දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාවට පත් වූයේ හයවන වරටත් ශ්‍රී ලංකාව ආසියානු ශූරයන් ලෙසින් කිරුලු පලන්දමිනි. කාසියේ වාසිය පරාජයට පත්ව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට විශිෂ්ට පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 45ක් තුළ ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය.


තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් භානුක රාජපක්ෂ සදහන් කළේ පීඩනයට හසු නොවී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වභාවය බවයි. අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලද භානුක රාජපක්ෂ, වනිදු හසරංග සමගින් එක්ව කඩුලු 5කට ලකුණු 58ක් ලෙසින් දිස්වූ ශ්‍රී ලංකා ඉනීම ලකුණු 170ක් කරා රැගෙන යාමට සමත් විය.


වනිදුට හා තමාට සැලසුමක් තිබූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වභාවය ධනාත්මක වීම බවත් භානුක රාජපක්ෂ සදහන් කොට ඇත. භානුක රාජපක්ෂ සදහන් කොට සිටියේ ඔහු පිතිකරණයට පැමිණෙන විටදී පාකිස්තාන කණ්ඩායම ඉදිරියෙන් සිටි නිසා තමාගේ ක්‍රීඩා රටාව වෙනස් කිරීමට සිදුවූ බවද භානුක රාජපක්ෂ සදහන් කොට ඇත.


"එතැනදී එය පහසු වුණේ නෑ.ඔවුන් හොඳින් පන්දු යවමින් සිටියා. මමයි වනිඳුයි හොඳ සැලසුමක් හදාගෙන හිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වභාවය ධනාත්මක වීම මිස පීඩනයට ලක්වීම නෙවේ. ඒක තමයි අපිට ලකුණු ලබාගන්න උදව් වුණේ"

"ඉෆ්ටිකාර් පන්දු යවන විට වනිඳුට පහර දීමට අවශ්‍ය වුණා, නමුත් වාසනාවකට අපි දෙන්නාම ලකුණු ලබා ගත්තා. පකිස්ථානය මේ වන විට ඉහළින්ම සිටි නිසා මට අද මගේ ක්‍රීඩා විලාශය වෙනස් කිරීමට සිදු වුණා. කඩුල්ලේ ටික වෙලාවක් ගත කරන්න වුණා."
"ඩ්‍රින්ක්ස් බ්‍රේක් එකේදී ක්‍රිස් සිල්වර්වුඩ් අපිත් එක්ක කතා කරන්න ආවම මම එයාට කිව්වා මේක ලකුණු 140 පිච් එකක් වගේ කියලා. නමුත් අපි අවසානය දක්වා කඩුල්ලෙ රැඳී සිටියා. ඒ නිසා අවසානයේදී අපේ ඉලක්කය බොහෝ වෙනස් වුණා.අවසන් පන්දුවට එල්ල කළ හයේ පහර සහ අවසන් පන්දුවාරය අපට ගොඩක් උපකාරී වුණා"

1,200 views0 comments