• Chathura Ramanayake

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව විස්සයි විස්ස පිටියේ සුවිශේෂී දස්කමක් දක්වයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී වසර 8කට පසුව, නොකඩවා විස්සයි විස්ස තරග 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. ඒ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී අඛණ්ඩව ජයග්‍රහණය කළ තරග 5ත් සමගිනි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය පරාජයට පත් වුවද එතැන් පටන් ක්‍රීඩා කළ සියලු තරග ජයග්‍රහණය කරමින් ආසියානු කුසලානය හිමිකරගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේදී නොකඩවා තරග 5ක් ජයග්‍රහණය කොට ඇත්තේ 2014 වසරේදීය. 2013 වසරේ දෙසැම්බර් මස දී පාකිස්තානයට එරෙහිව පැවති තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව බංග්ලාදේශයට එරෙහිව පැවති තරග 2කද ජයගැනීමට සමත් විය. ඉන් නොනැවතී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය පරාජයට පත් කරන්නට විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පිට පිට තරග 5ක් ජයග්‍රහණය කළ තෙවන අවස්ථාව ලෙසින්, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ජයගත් තරග 5 වාර්තා පොත් අතරට එක්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට නොකඩවා විස්සයි විස්ස තරග 5ක් ජයග්‍රහණය කොට ඇත්තේ 2010-11 කාල සීමාව තුළදී ය.


ශ්‍රී ලංකා කණ්ඩායමක් නොකඩවා වැඩිම විස්සයි විස්ස තරග ගණනක් ජයග්‍රහණය කොට ඇත්තේ 2009 ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තරග 6ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. ඉදිරියේ පැවැත්වෙන විස්සයි විස්ස තරගද ජයග්‍රහණය කරමින් ඉහත වාර්තාව බිදහෙලන්නට දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවේවායි අපගේ පැතුමයි..


විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාව නොකඩවා ලද වැඩිම ජයග්‍රහණ


2009දී (ජයග්‍රහණ 6)

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6කින්

  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව

  • පාකිස්තානයට එරෙහිව ලකුණු 19කින්

  • අයර්ලන්තයට එරෙහිව ලකුණු 9කින්

  • නවසීලන්තයට එරෙහිව ලකුණු 48කින්

  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 57කින්


2010-11දී (ජයග්‍රහණ 5)

  • නවසීලන්තයට එරෙහිව කඩුලු 7කින්

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින්

  • එංගලන්තයට එරෙහිව කඩුලු 9කින්

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 35කින්

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 8කින්


2013-14 දී (ජයග්‍රහණ 5)

  • පාකිස්තානයට එරෙහිව ලකුණු 24කින්

  • බංග්ලාදේශයට එරෙහිව ලකුණු 2කින්

  • බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3කින්

  • දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 5කින්

  • නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9කින්


2022 දී (මේ වන විට ජයග්‍රහණ 5)

  • බංග්ලාදේශයට එරෙහිව කඩුලු 2කින්

  • ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 4කින්

  • ඉන්දියාවට එරෙහිව කඩුලු 6කින්

  • පාකිස්තානයට එරෙහිව කඩුලු 5කින්

  • පාකිස්තානයට එරෙහිව ලකුණු 23කින්




4,072 views0 comments