• Chathura Ramanayake

ශම්රා බෲක්ස්ගෙන් ජයග්‍රාහී ඉනීමක් !!!



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශම්රා බෲක්ස් රැස්කළ ලකුණු 79 හා නිකලස් පූරන් සමගින් ඔහු ගොඩනැගූ ලකුණු 75ක සබදතාවය හේතුවෙන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකිවිය.බාබඩෝස්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් කොදෙව්වන් පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන නවසීලන්ත පිතිකරුවන්ට සාර්ථක වන්නට කොදෙව් පන්දු යවන්නන් ඉඩ නොතැබූහ.


නවසීලන්ත ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ නායක කේන් විලියම්සන් ය. ඔහු පන්දු 50කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 34ක් රැස්කළේය. මයිකල් බ්‍රේස්වෙල් පන්දු 33කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 31ක් රැස්කළේය. නවසීලන්ත ඉනීමේ කිසිදු කඩුල්ලක් වෙනුවෙන් අර්ධ ශතක සබදතාවක් වාර්තා නොවුණි. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ෆින් ඇලන් හා මාටින් ගප්ටිල් රැස්කළ ලකුණු 41 ඉනීමේ හොදම සබදතාව බවට පත්විය.


පන්දුවාර 45 පන්දු 2ක් තුළ නවසීලන්ත ඉනීම ලකුණු 190කට සීමා විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දස්කම් පෑ අකීල් හුසේන් හා අල්සාරී ජෝසප් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් විය. ලකුණු 191 ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක කඩුලු 2ක ලකුණු 37කදී බිද වැටුණි. ආරම්භක පිතිකරු ශායි හෝප් ලකුණු 26ක් රැස්කළේය. සිව්වන කඩුල්ල වෙනුවෙන් බෲක්ස් හා පූරන් ගොඩනැගූ සබදතාවය කොදෙව් පිළ තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම සැකසීය.


නිකලස් පූරන් ලකුණු 28ක් රැස්කරද්දී බෲක්ස්ගේ ජයග්‍රාහී ලකුණු 79ක ඉනීම හතරේ පහර 9කින් හා එක් හයේ පහරකින් සමන්විත විය. ඔවුන් දෙදෙනා ගොඩ නැගූ සබදතාවයට සාදාරණයක් ඉටු කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට ජේසන් හෝල්ඩර් හා ජර්මයින් බ්ලැක්වුඩ්ට හැකිවිය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයගන්නට කොදෙව්වන්ට හැකිවිය. තරගයේ වීරයා ලෙසින් ශම්රා බෲක්ස් සම්මානයට පාත්‍ර විය.

554 views0 comments