• Chathura Ramanayake

ශකිබ්, මුෂ්ෆිකර් බංග්ලාදේශ ඉනීම අරඹන ලකුණු ?

Updated: Aug 18




ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරෙනු බංග්ලාදේශ සංචිතය පසුගියදා නිවේදනය කෙරිණි. ශකිබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්ය. නමුත් එම සංචිතයට ඇතුළත්ව ඇත්තේ විශේෂඥ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු පමණි.


බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ කලීඩ් මහමුඩ් පවසන පරිදි ආබාධ සහ හදිසි අවස්ථා වලදී ආරම්භක පිතිකරු ලෙසින් මුෂ්ෆිකර් රහීම් හෝ ශකිබ් අල් හසන් තෝරා ගත හැකි බවයි. කණ්ඩායම සතු ආරම්භක පිතිකරුවන් වන එනමුල් හක් වසර හයකට පසු පසුගිය ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට කැදවා තිබුණි. අනෙක් ආරම්භක පිතිකරු වන ප්‍රවීස් හුසේන් විස්සයි විස්ස වරම් දිනාගත්තේ පසුගිය සිම්බාබ්වේ තරාගවලියේදී ය.


ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරග වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන අගෝස්තු මස 30 වනදා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇත. ප්‍රතිවාදීන්ගේ පන්දු බලඇණිය දෙස අවධානය යොමු කිරීමෙන් පසුව ආරම්භක පිතිකරු යුගලය තෝරාගන්නා බව කලීඩ් මහමුඩ් සදහන් කොට ඇත.


" අපට විශේෂඥ පිතිකරුවන් දෙදෙනෙකු ඉන්නවා. නමුත් දේශීය ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් ලෙසින් අත්දැකීම් ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉන්නවා. ඇෆ්ගනිස්තානයේ පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කරමින් ඉනීම ආරම්භ කරන්නෙ කවුද කියල අපි තීරණය කරනවා"


" මුෂ්ෆිකර් රහීම් හෝ ශකිබ් අල් හසන් දෙදෙනා පවා ඉනීම ආරම්භ කරන්න ඉඩ තියෙනවා. මෙහෙදි හසන් මිරාස්ට හා ශෙයික් මහේදි යන ක්‍රීඩකයන් දෙදෙනාටත් ඉනීම ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. අපිට විකල්ප ගොඩක් තියෙනවා. ඒත් අපි කණ්ඩායමේ සංයුතිය ගැනත් හිතන්න ඕන."


ශකිබ් හා මුෂ්ෆිකර් රහීම් යන දෙදෙනාම බංග්ලාදේශය වෙනුවෙන් ඉනීම ආරම්භ කොට ඇත. මුෂ්ෆිකර් රහීම් 2019 වසරේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉනීම ආරම්භ කළද ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී ශකිබ් අල් හසන් ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළේය.

703 views0 comments