• Chathura Ramanayake

විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් පූර්ව තරග අද !!!



ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන සුදුසුකම් ලැබීමේ B කාණ්ඩයේ තරග වටය මේ දිනවල සිම්බාබ්වේහිදී පැවැත්වෙයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව වටය වෙනුවෙන් සිම්බාබ්වේ, පැපුවා නිව් ගිනියා, නෙදර්ලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය සුදුසුකම් ලබා ඇත.


ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හා පැපුවා නිව් ගිනියා කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරගයේදී නෙදර්ලන්තය හා ඇමරිකා එක්සත් ජනපදයත් තරග වදිනු ඇත. මූලික වටයේ පැවති තරග ද්විත්වයම ජයග්‍රහණය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.


සුදුසුකම් ලැබීමේ B කොටසේ තරගාවලියේ මූලික වටය අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ස්ටීවන් ටේලර් සමත් වී ඇත. ඔහු තරග 3 තුළදී ලකුණු 205ක් රැස්කොට ඇත්තේ ශතකයක් හා අර්ධ ශතකයක් රැස්කරමිනි. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි දෙවන ස්ථානය ශිකන්ධර් රාසාට හිමි වී ඇති අතර ඔහු තරග 3 තුළ ලකුණු 187ක් රැස්කොට ඇත.


මූලික වටය අවසානයේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත්තේ නෙදර්ලන්ත ක්‍රීඩක ෆ්‍රෙඩ් ක්ලාසන්ය. ඔහු තරග තුන තුළදී කඩුලු 9ක් දවාගත් අතර උගන්ඩාවට එරෙහි තරගයේදි ලකුණු 19ට කඩුලු 5ක් බිදහෙලීය. වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයෙහිද නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු වන ලෝගන් බීක් රැදී සිටින්නේ කඩුලු 7ක් දවාගනිමිනි.


0 views0 comments