• Shaminda Jayarathne

විස්සයි විස්ස ක්‍රිකට් ලීග් හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් වලපල්ලටද?


මීට වසර 18 කට පමණ පෙර ලොවට හඳුන්වා දෙනු ලැබූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟ රටාව බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ලොව පුරාම ජනප්‍රිය වූ ආකාරය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට මතක් කරගන්නට පුලුවන්. මේ තරඟ රටාවේ පැවති ආකර්ෂණීය භාවය නිසාවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයක් පවා පැවැත්වීමට 2007 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.


ඉන් පසුව සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ලොව උඩු යටිකුරු කළ ඉන්දියානුවන් විසින් 2008 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය හෙවත් IPL තරඟාවලිය ආරම්භ කළා. ඒ අනුව යමින් ලොව පුරාම රටවල් තමන්ගේ රටේ විස්සයි විස්ස ලීග් තරඟාවලියක් ආරම්භ කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයක්. වර්තමානය වන විටදී ඇමරිකාව, නේපාලය, හොංකොං වැනි රටවල් පවා මෙලෙස ලීග් තරඟ පවත්වනවා.


මෙලෙස පැවැත්වෙන ලීග් තරඟ අතුරින් ලොව වඩාත් ජනප්‍රියම තරඟාවලිය IPL යැයි කීම වරදක් නොවේ. පසුගියදා IPL කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කලමණාකාරිත්වය ප්‍රකාශ කළේ ක්‍රීඩකයන් වසරක කාලයකට කොන්ත්‍රාත් ගත කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. මීට ප්‍රථම තරඟ කාලයට පමණක් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත වුවත් වසරක කාලයකට කොන්ත්‍රාත් ගත වීම විවිධ පල විපාක ඇතිකළ හැකි බවට දැනටමත් ඉඟි පළ වනවා.


මන්ද යත් මෙලෙස කොන්ත්‍රාත් ගත වීම හේතුවෙන් ක්‍රීඩකයන් හට එම වසරේ කැඳවන ඕනෑම අවස්ථාවක ලීග් කණ්ඩායම හා එක්වීමට සිදුවීමයි. ඒ වගේම වර්තමානයේදී IPL ක්‍රිකට් පවත්වන සමයේ ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරයද තරඟාවලි වලින් තොර වීම භයානක තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා.


මෙලෙස ලීග් තරඟ අනුව යමින් ක්‍රීඩකයන් හට ඩොලර් 450 000 ක පමණ විශාල වැටුප් ගෙවමින් නව ලීගයක් නිර්මාණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සූදානමින් පසු වනවා. එයට දැනටමත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් තම සහභාගීත්වය සටහන් කිරීමට කැමැති වී ඇතැයිද සඳහන්. එංගලන්තය විසින් පවත්වනු ලබන The 100 නම් නව තරඟ රටාව, අබුඩාබි T10 ලීගය ලෙසින් පවත්වන පන්දුවාර 10 තරඟාවලියද මෙම කෙටි තරඟ ආකෘතිය තවදුරටත් ලොව පුරා ප්‍රචාරය කිරීමට සමත් වී තිබෙනවා.


මෙලෙස ලීග් තරඟාවලි ලොව පුරා පැවැත්වීමත්, ජාත්‍යන්තර තරඟ කැලැන්ඩරය පවා ලීග් තරඟ වලට අනුකූලව සැකසීමත් වැනි කරුණු නිසාවෙන් සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් වල මළගම ඉදිරියේදී දකින්නට ලැබේදෝ යන සැකය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තදින්ම දැනෙන ප්‍රශ්නයක් වී අවසන්. ඒ වගේම ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අභිබවා යමින් මෙම විස්සයි විස්ස ලීග් තරඟ ජනප්‍රිය වීමට පටන් ගතහොත් එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවටත් අනිසි බලපෑමක් එල්ල කරනු ඇතැයි දැනටමත් විදෙස් මාධ්‍ය මත පල කරමින් සිටිනවා.

57 views0 comments