• Chathura Ramanayake

විස්ඩන් සගරාව නම් කළ වර්තමාන ආසියානු T20 කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෙකුත් !!



වත්මන් ශ්‍රේණිගතකිරීම් පදනම් කරගනිමින් ආසියානු විස්සයි විස්ස කණ්ඩායම නම් කිරීමට විස්ඩන් සගරාව කටයුතු කොට ඇත. ආසියානු කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ වන අතර මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරයි. විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම රැදෙන ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වී ඇත.


කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කරනුයේ විස්සයි විස්ස පිතිකරුවන් අතර ප්‍රමුඛයා වන පාකිස්තාන නායක බාබර් අසාම් හා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මේ වන විට ශ්‍රේණිගතකිරීම්හි නව වන ස්ථානයේ රැදී සිටියි. බාබර් අසාම් 2021 ආරම්භයේ සිට මේ දක්වා ලකුණු 1005 රැස්කොට ඇත්තේ විස්සයි විස්ස ශතකයක් හා අර්ධ ශතක 10ක් සමගිනි. පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 628ක් රැස්කොට ඇති අතර ඉන් ලකුණු 257ක්ම ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස්කොට ඇත.


පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි තෙවන ස්ථානයේ රැදෙන මොහොමඩ් රිස්වාන් ද මෙම ආසියානු කණ්ඩායමට ඇතුළත්ය. 2021 වසරේ සිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභියා වන රිස්වාන් ඉනීම 27කදී ලකුණු 1349ක් රැස්කොට ඇත. ශ්‍රේණිගතකිරීම්හි හත්වන ස්ථානය හිමි එක්සත් අරාබි එමීර් ක්‍රීඩක මුහම්මඩ් වසීම් ද ආසියානු කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනීම 15කදී ලකුණු 617ක් රැස්කොට ඇත්තේ 44ක සාමාන්‍යයක් හා 156ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි.


මෙම කණ්ඩායමට ඉන්දීය සුපිරි පිතිකරු සූර්‍යකුමාර් යාදව් ඇතුළත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි දෙවැන්නා ලෙසින් රැදී සිටියි. සූර්‍යකුමාර් යාදව් විස්සයි විස්ස පිටියේ ලකුණු 672ක් රැස්කොට ඇත්තේ 37ක පිතිකරණ සාමාන්‍යයක් හා 175ක් වැනි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ රැදෙන බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් ද විස්ඩන් ආසියානු කණ්ඩායමට ඇතුළත්ය. විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්හි ප්‍රමුඛයා වන ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබීටද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි වී ඇත.


ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ශ්‍රේණිගතකිරීම්හි හයවැනි ස්ථානයේ රැදීසිටින අතර ඔහුට වඩා එක් ස්ථානයක් ඉහළ සිටින ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්, වනිදු අභිබවමින් ආසියානු කණ්ඩායමට ඇතුළත් කොට ඇත. කණ්ඩායමට ඇතුළත් සෙසු වේගපන්දු යවන්නන් වනුයේ ශහීන් අෆ්‍රිඩි, බුවනේෂ්වර් කුමාර් හා ඕමාන ක්‍රීඩක බිලාල් ඛාන්ය. බිලාල් ඛාන් පන්දු යැවීමේ ශ්‍රේණිගතකිරීම්හි 28 වැන්නා ලෙසින් රැදෙන අතර ආසියානු රටවල වේගපන්දු යවන්නන්  අතුරින් ඔහුට ඉදිරියෙන් රැදී සිටින්නේ බුවනේෂ්වර් කුමාර් හා ශහීන් අෆ්‍රිඩි පමණි.


විස්ඩන් ආසියානු කණ්ඩායම

බාබර් අසාම්

පැතුම් නිස්සංක

මොහොමඩ් රිස්වාන්

මුහම්මඩ් වසීම්

සූර්‍යකුමාර් යාදව්

ශකිබ් අල් හසන්

මොහොමඩ් නබී

රශීඩ් ඛාන්

බුවනේෂ්වර් කුමාර්

ශහීන් අෆ්‍රිඩි

බිලාල් ඛාන්

53 views0 comments