• Shaminda Jayarathne

විරාට් කෝලි ආසියානු කුසලානය ක්‍රීඩා කිරීම අවිනිශ්චිතයිද?

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2019 වසරේ සිට ඔහු පෙර වසරවල් වලදී දැක්වූ දක්ශතාවයන් ගෙන් ඈතට ගමන් කරන බවක් දකින්නට ලැබුණා. කෝලි දිගින් දිගටම තම රිද්මයෙන් ඉවතට විසිවී තිබීම නිසා ඔහු විසින්ම ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත් වුණා.


මීට ප්‍රථමව අංශ 3 න් ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ කෝලි මේ වන විට එම අංශ 3 ම නායකත්වයෙන් ඉවත්වී සිටිනවා. ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළ එංගලන්ත තරඟාවලියේදීත් ඔහු සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඉන්දියාව ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරය සඳහා කෝලි ඇතුළත්ව සිටියේ නෑ. අගෝස්තු මස 18 වනදා ඉන්දියාවේ සිම්බාබ්වේ සංචාරයටද විරාට් කෝලි ක්‍රීඩා කිරීමෙන් වැලකී සිටින බවට වාර්තා වනවා.


මේ සම්බන්ධයෙන් තම අදහස් දක්වන හිටපු පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක දනිශ් කනේරියා ප්‍රකාශ කරන්නේ එළඹෙන ආසියානු කුසලානයට කෝලි ක්‍රීඩා කරන බවට තමන් විශ්වාස නොකරන බවයි. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ කෝලි මේ වන විට තමන්ට ගිලිහී ගොස් තිබෙන රිද්මය සොයා ගැනීමට කොදෙව් සංචාරය හා සිම්බාබ්වේ සංචාරය ක්‍රීඩා කිරීම සිදු කළ යුතුව තිබුණත් එය සිදු නොකිරීම ඔහුට පාඩුවක් වන බවත් ය.


මේ නිසාවෙන් විරාට් කෝලි ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට ක්‍රීඩා කරවීම ඉන්දියාව දෙසින් පාඩුවක් විය හැකි බවද දනිශ් කනේරියා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටිනවා. ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම කෝලිට ප්‍රිය කරන බොහෝ දෙනා ඔහු නැවතත් සුපුරුදු දස්කම් දක්වන තෙක් බලා සිටින බව නම් නොරහසක්.

1,486 views0 comments