• Chathura Ramanayake

වේන් පානෙල්ගෙන් අයර්ලන්තයට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක් !!!




දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සමගාමිව පැවැත්වෙන අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්තය පළමුව පන්දු යැවීම තෝරාගත්හ. ඒ ආරාධනයෙන් දකුණු අප්‍රිකානු ඉනීම ආරම්භ කරමින් ක්වින්ටන් ඩි කොක් සමගින් රීසා හෙන්රික්ස්‍ පිටියට පිවිසියහ.


ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 7කදී දවාගැනීමට බැරී මැකාති සමත් වද්දී රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 4කටද ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඇන්ඩි මැක්බ්‍රයන් සමත් විය. ආරම්භක පිතිකරු රීසා හෙන්රික්ස්‍ පන්දු 40කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 42ක් රැස්කිරීමට සමත් විය. ඒඩ්න් මක්‍රම් පන්දු 10ක් තුළ හයේ පහර 3ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 27ක් දකුණු අප්‍රිකානු ඉනීම්ට එක් කළේය.


දකුණු අප්‍රිකානු ඉනීමට වේගවත් ලකුණු 39ක් එක් කරන්නට හෙනරිච් ක්ලාසන් සමත් වූයේ පන්දු 16 තුළ හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් එල්ල කරමිනි. ඩේවිඩ් මිලර්ද පන්දු 20ක් තුළදී එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 32ක් රැස්කිරීමට සමත් වද්දී පන්දු 7ක් තුළ තවත් ලකුණු 17ක් එක් කරන්නට ඩ්වේන් ප්‍රිටෝරියස් සමත් විය. ඒ අනුව පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ගැරෙත් ඩෙලනි ලකුණු 24ට කඩුලු 2ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2ක් ඉනීමේ දෙවන පන්දුවාරය තුළදී දවාගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක වේන් පානෙල් සමත් විය. අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් හතරේ පහර හා හයේ පහර 2ක බැගින් එල්ල කරමින් ලකුණු 28ක් රැස්කළේය. අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හැරී ටෙක්ටර් පන්දු 31ක් තුළදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. අයර්ලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවන්නට සමත් වූයේ පිතිකරුවන් සිව්දෙනෙකු පමණකි.


ඉලක්කය අසීරු වුවද අංක 10 පිතිකරු ලෙසින් පිටියට එක්වූ බැරී මැකාති පන්දු 19ක් තුළදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 32ක් රැස්කළේ ඉනීමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. අයර්ලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දුවාර 18 පන්දු 5ක් තුළදී ලකුණු 138කට දවාගැනීමට වේන් පානෙල් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. වේන් පානෙල් පන්දුවාර හතර තුළදී ලකුණු 30කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක්ද ශම්සි හා න්ගිඩි එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට ඊයේ දිනයේදී සමත් විය.


South Africa 182 for 6 (Hendricks 42, Klaasen 39, Delany 2-24)

Ireland 138 (Tector 34, Parnell 5-30, Pretorius 3-33)

291 views0 comments