• Chathura Ramanayake

වෙනස්කම් දෙකක් සමගින් ශ්‍රී ලංකාව අද තරග බිමට


ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ අවසන් තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය. අද දිනයේදී මෙම තරගය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට සූදානමින් පසුවෙයි.


අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇතැයි වාර්තා වෙයි. ආසියානු කුසලාන තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ චරිත් අසලංක වෙනුවට ධනංජය සිල්වා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවට අද දෙරණ කෙළිබිම පිටුව වාර්තා කොට ඇත.


ඉන්දීය කණ්ඩායම සමගින් පැවති තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙනුවට,අද දිනයේදී ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගැනීමට නියමිතය. ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් ද්විත්ව අතර පැවැත්වෙන මෙම තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.


එමෙන්ම පාකිස්තාන කණ්ඩායම ද අද දිනයේදී වෙනස්කම් දෙකක් සමගින් තරග බිමට පිවිසීමට සූදානමින් පසුවන බවද වාර්තා වෙයි. ඒ අනුව පාකිස්තානය ශඩාබ් ඛාන් හා නසීම් ශාහ් වෙනුවට හසන් අලී හා උස්මාන් ඛාදීර් අද තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. නමුත් පාකිස්තාන කණ්ඩායමේ මෙම වෙනස්කම් ද්විත්ව මේවන තෙක් තහවුරු කොට නොමැත.

2,918 views0 comments