• Chathura Ramanayake

වේගවත් හබායාමක් සිදුකළ කුවේටය ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට!!



ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ පස්වන තරග අද පැවැත්විණි. සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගය කුවෙට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් බවට පත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිංගප්පූරු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන සිංගප්පූරු කණ්ඩායමට ඉනීම අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 104ක් පමණි. සිංගප්පූරු පිතිකරු අතුරින් ලකුණු 10 සීමාව ඉක්මවන්නට හැකිවූයේ ක්‍රීඩකයන් සිව්දෙනෙකුට පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජනක් ප්‍රකාශ් පන්දු 33කදී ලකුණු 29ක් රැස්කළේය. ආරම්භක පිතිකරු අරිට්‍රා ඩුට්ටා ලකුණු 21කින් සිංගප්පූරු ලකුණු පුවරුව ඉහළ නැංවීය.


පන්දු යැවීමේදී කුවෙට් කණ්ඩායම වෙනුවෙන් යසින් පටෙල් පන්දුවාර හතර තුළදී ලකුණු 22කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. ශිරාස් ඛාන් ලකුණු 18කට කඩුලු 3ක් හා සයීඩ් මොනිබ් ලකුණු 25කට කඩුලු 2ක් බිදහෙලීය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන කුවෙට් කණ්ඩායම කඩුලු දැවී ගියද දල ලකුණු වේගය සාදා ගැනීම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කරන්නට විය.


පන්දුවාර 7 පන්දු 5ක් අවසානයේදී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට කුවෙට් කණ්ඩායම සමත් විය. ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක ලකුණු 100ට වැඩි ඉලක්කයක් අඩුම පන්දු ගණනකින් හබාගිය දෙවන කණ්ඩායම බවට පත්වන්නටද කුවෙට් කණ්ඩායමට හැකි විය. කුවෙට් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ සයීඩ් මොනිබ් පන්දු 10කදී හයේ හා හතරේ පහර 3ක් බැගින් එල්ල කරමින් ලකුණු 32ක් නොදැවී රැස්කළේය.


ශ්‍රී ලංකා ක්‍රීඩක රවිජ සදරුවන් පන්දු 14කදී හතරේ හා හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 28ක් රැස්කිරීමට සමත් විය. බිලාල් තහීර් නොදැවී ලකුණු 21ක් රැස්කළේ හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගිනි. පන්දු යැවීමේදී විනෝත් බස්කරන් ලකුණු 39ට කඩුලු 3ක් බිදහෙලීය. කුවේට් ඉනීම දැවැන්ත හයේ පහර 10කින් හා හතරේ පහර 6කින් වර්ණවත් විය. තරගයේ වීරයා ලෙසින් සයිඩ් මොනීබ් සම්මාන ලැබීය.


වේගවත් පිතිහරඹයක නිරත වෙමින් දළ ලකුණු වේගය 1.627 තෙක් ඉහළ නංවා ගත් කුවෙට් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ හිමිකරගැනීමට සමත්ව ඇත. අද රාත්‍රියේදී පැවැත්වෙන හොංකොං එක්සත් අරාබි එමීර් තරගයේ තීරණය මත කුවේට් කණ්ඩායමේ ආසියානු කුසලාන ගමන තීරණය වනු ඇත.


කෙටි ලකුණු පුවරුව


සිංගප්පූරු කණ්ඩායම : 104/10 (19.5)

ජනක් ප්‍රකාශ් 29(33), අරිට්‍රා ඩුට්ටා 21(17)

යසින් පටෙල් 4/22, ශිරාස් ඛාන් 3/18, සයිඩ් මොනීබ් 2/25


කුවේට් කණ්ඩායම : 105/4 (7.5)

සයිඩ් මොනීබ්* 32(10), රවිජ සදරුවන් 28(14), බිලාල් තහීර්* 21(12)

විනෝත් බස්කරන් 3/39

88 views0 comments