• Shaminda Jayarathne

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවට අන්තර්ජාතික පාපන්දු තහනම් කරයි!

ඉන්දියාවට නැවත දැනුම් දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරම් තහනම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කළා. ඒ ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාවට තුන්වන පාර්ශවයන් මැදිහත් වී සිදු කරනු ලබන සිද්ධීන් වල ප්‍රතිඵලයක් වශයෙන් වීම විශේෂත්වයක්.


ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති වලට පටහැනිව තුන්වන පාර්ශවයන් යොදා ගනිමින් පාපන්දු ක්‍රීඩාව පවත්වා ගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙනවා. ඔවුන් මේ නිසාවෙන් වංචා දූෂණ විශාල ප්‍රමාණයෙන් සිදු කරන බවට FIFA චෝදනා කොට සිටිනවා.


2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය පාපන්දු නිලවරණය නියමිත පරිදි පවත්වා නොතිබීමත් ඉන් පසුව ඉන්දීය පාපන්දු සම්මේලනයේ සභාපති වූ ප්‍රෆුල් පටෙල් ව එම ධූරයෙන් ඉවත් කොට තිබූ අතරම මේ සම්බන්දයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා. මේ තත්ත්වයන් උඩ ඉන්දීය පාපන්දුව අවුල් ජාලයක පැටලී තිබුණා කිවහොත් නිවැරදියි.


මේ සිදුවීම නිසාවෙන් කඩිනමින් පාපන්දු නිලවරණය පැවැත්වීමට කටයුතු කිරීමට ඉන්දීය පාපන්දු බලධාරීන් සූදානම් වන බවට පුවත් පැතිර යනවා. කෙසේ වුවත් මේ හේතුව නිසාවෙන් ඔක්තෝබර් මස 11-30 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17 න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලානයද එරට සත්කාරත්වයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.


85 වසරක ඉන්දීය පාපන්දු ඉතිහාසයේ ඔවුන් ජාත්‍යන්තර පාපන්දු තහනමකට ලක් වූ මුල්ම අවස්ථාව ලෙසින් මෙය වාර්තා වනවා. මේ නිසාවෙන් ඉදිරියේදී පවත්වන කිසිඳු ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියක් සඳහා සහභාගී වීමට ඉන්දීය පාපන්දු කණ්ඩායමට නොහැකි වී තිබෙනවා.

96 views0 comments