• Chathura Ramanayake

වසර 2-3 කින් කිසිවෙකු එය ක්‍රීඩා කිරීමට කැමති නොවේවි - මොයීන් අලි



එංගලන්ත ක්‍රීඩක මොයීන් අලි එක්දින තරගවල අනාගතය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී සදහන් කොට ඇත්තේ සෙසු ක්‍රීඩකයන්ට එක්දින ජාත්‍යන්තර තරග වලින් සමු ගැනීම සම්බන්ධයෙන් බෙන් ස්ටෝක්ස් කටයුතු කළ ආකාරය අනුගමනය කළ හැකි බවත්, කාර්‍යබහුල දින දර්ශනය නිවැරදි කිරීමට කිසිවක් නොකළහොත් එක්දින තරග රටාව යල් පැන යා හැකි බවත්ය.


එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් පසුගිය මාසයේදී එක්දින තරග රටාවට සමුදීමට තීරණය කළේ විස්සයි විස්ස ලීග් තරග හේතුවෙන් පැන නැගි ඇති තිරසාර නොවන ක්‍රිකට් කැලැන්ඩරය හේතුකොට ගනිමිනි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සෑම වසරකදීම ICC ඉසව්වක් පැවැත්වීම හරහා එම කාර්‍යබහුලත්වය තවත් වැඩිවී ඇත.


" මේ මොහොත එක්ක බලන විට එය ඇත්තටම තිරසාර නෑ. ඕවර් 50 තරග ආකෘතිය වසර කිහිපයකින් අහිමි වේ යයි මම බියෙන් පසුවෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. මක්ද යත් ඕවර් 50 තරග ආකෘතිය දිගු හා කම්මැලි එකක්. ඒ නිසා කවුරුත් එයට මේ මොහොත වන විට කිසිදු වැදගත්කමක් ලබා දෙන්නෑ. අවුරුදු දෙක තුනකින් කිසිවෙකුට එය ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි මට දැනෙනවා."


එංගලන්ත ක්‍රීඩකයන් වන ජෝ රූට් හා ජෝස් බට්ලර්ද මෙම කාර්‍යබහුල කාලසටහන සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකොට ඇති අතර ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ද මෙය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇත.


" ක්‍රිකට් තරග වලින් ක්‍රීඩා කිරීමට හොදම වන්නේ ආකෘති තුනේම ජාත්‍යන්තර තරගයි. නමුත් වර්තමානයේදී ක්‍රීඩකයන් බොහෝ සෙයින් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. ක්‍රීඩකයන් ඉක්මනින් විශ්‍රාම ගැනීමට පෙළඹෙන්නේ තරගාවලි කාලසටහන් එක මත එක යෙදීම නිසයි."

1,212 views0 comments