• Shaminda Jayarathne

වසර 145 ක වාර්තාවක් ප්‍රභාත්ට යන්තමින් මගහැරෙයි!

1877 වර්ෂයේ සිට ආරම්භ වුණ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 145 ක් පැරණි ලෝක වාර්තාවක් ඊයේ පැවති පාකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හට යන්තමින් මගහැරී ගියා. ඒ තම මංගල ටෙස්ට් ඉනිමේ සිට කඩුලු 5 අවස්ථා 4ක් එක දිගටම දවා ගැනීමේ වාර්තාවයි.


ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනාගත් ප්‍රභාත් ජයසූරිය තමන් පන්දු යැවූ ප්‍රථම ඉනිමේදීම ලකුණු 118/6 වශයෙන් සාර්ථක පන්දු යැවීමක් සටහන් කිරීමට සමත් වුණා. දෙවනි ඉනිමේදී ඕස්ට්‍රේලියාව වනසා දමමින් ලකුණු 59 කට කඩුලු 6ක් බිඳ හෙලූ ඔහු සමස්ථ තරඟය පුරාවටම ලකුණු 177/12 ක් වශයෙන් දස්කම් දැක්වූයේ තරඟයේ වීරයා සම්මානයද හිමිකර ගනිමින්.


ඉන් අනතුරුව ආරම්භ වූ පාකිස්තාන සංචාරයේ පළමු තරඟයේදී නැවතත් සාර්ථක වන ප්‍රභාත් ජයසූරිය පාකිස්තාන පළමු ඉනිමේදී 82/5ක් වශයෙන් කඩුලු දවාගනිමින් තවත් කඩුලු 5 අවස්ථාවක් වාර්තා කිරීමට සමත් වුණා. වසර 145ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තමන් පන්දු යැවූ පළමු ඉනිම 4 දීම කඩුලු 5 බැගින් වාර්තා කිරීමට කිසිඳු පන්දු යවන්නෙක් සමත්ව සිටියේ නෑ. නමුත් ප්‍රභාත් එහි ආසන්නයටම පැමිණියේ පාකිස්තාන දෙවන ඉනිමේ ලකුණු 135 කට කඩුලු 4ක් බිඳ හෙලමින්. වසර 145 ක ක්‍රිකට් ඉතිහාසයේ තබන්නට තිබූ තවත් එක් සුවිශේෂී වාර්තාවක් එලෙස අවාසනාවන්ත ලෙසින් එක් කඩුල්ලක වෙනසකින් ප්‍රභාත් ජයසූරියට මගහැරී ගියා.

0 views0 comments