• Chathura Ramanayake

වසර තුන හමාරකට පසුව ජාතික කණ්ඩායමට පිවිසි පිතිකරුවාගෙන් සාර්ථක ආරම්භයක්


වසර 17කට පසුව එංගලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් මේ දිනවල පාකිස්තාන තරග සංචාරයකට එක්ව සිටියි. තරග 7කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත නායක මොයීන් අලි පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් රැස්කළහ. ආරම්භක පිතිකරු යුගලය වූ මොහොමඩ් රිස්වාන් හා බාබර් අසාම් එක්ව පළමු කඩුල්ලට ලකුණු 85ක සබදතාවක් ගොඩනගන්නට විය. බාබර් අසාම් පන්දු 24කදී ලකුණු 31ක් රැස්කළ අතර හයිඩර් අලි ලකුණු 11ක් රැස්කළේය.



කඩුලු රකින මොහොමඩ් රිස්වාන් පන්දු 46කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 68ක් රැස්කොට සිටියදී දවාගැනීමට මොහොමඩ් රිස්වාන් සමත් විය. ඉෆ්තිකාර් අහමඩ් පන්දු 17කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 28ක් රැස්කළ අතර සෙසු මැදපෙළ පිතිකරුවන් කිසිවෙක් ලකුණු 10 සීමාව ඉක්මවන්නට අපොහොසත් විය. පන්දු යැවීමේදී ලූක් වුඩ් ලකුණු 24ට කඩුලු 3ක් හා අඩිල් රශීඩ් කඩුලු 2ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2කදී කඩුලු 4ක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. වසර 3.5කට පසුව එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කල ඇලෙක්ස් හේල්ස් පන්දු 40කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 53ක් රැස්කළේය. ඩේවිඩ් මාලන් ලකුණු 20කින හා බෙන් ඩුකට් ලකුණු 21කින් ජයග්‍රහණයට දායක විය.


තරගය අවසන් කළ හැරී බෲක් පන්දු 25කදී නොදැවුනු ලකුණු 42ක් රැස්කළේ හතරේ පහර 7ක්ද එල්ල කරමිනි. ඒ අනුව තරග 7කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට එංගලන්තයට හැකිවිය.

5,385 views0 comments