• Chathura Ramanayake

වයස 35 ඉක්මවූ විස්ඩන් ලෝක ටෙස්ට් පිළට ශ්‍රී ලාංකිකයෙකුත් !!!



වයස යනු හුදු ඉලක්කමක් පමණක් බව පසක් කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් රැසක් වෙති. ඒ අතුරින් වයස අවුරුදු 35 ඉක්මවූ පසුවද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ක්‍රීඩකයන් අතුරින් ලොව හොදම ටෙස්ට් කණ්ඩායම නම් කිරීමට ප්‍රකට විස්ඩන් සගරාව කටයුතු කොට ඇත. ලොව පුරා ක්‍රිකට්  ක්‍රීඩකයන් වයස අවුරුදු 35 ඉක්මවූ පසු ටෙස්ට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කොට ගනිමින් මෙම ලෝක කණ්ඩායම නම් කොට ඇත.


මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයන් අතුරින් හයදෙනෙකුම එංගලන්ත ක්‍රීඩකයන් වීම සුවිශේෂීය. මෙම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවන අතර ශ්‍රී ලංකා, පාකිස්තාන, කොදෙව් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඇතුළත් ය. කණ්ඩායමට පාකිස්තානය නියෝජනය කළ මිස්බා උල් හක් හා යුනිස් ඛාන් ඇතුළත් අතර ශ්‍රී ලංකා හිටපු වමත් දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ද මෙම කණ්ඩායමට ඇතුළත්ය.


Wisden කණ්ඩායමේ ක්‍රීඩකයන් වයස අවුරුදු 35 ඉක්මවූ පසු ටෙස්ට් පිටියේ දැක්වූ දක්ෂතා


ග්‍රැහැම් ගූච්

තරග 52, ලකුණු 4563, සාමාන්‍ය 48.54, වැඩිම ලකුණ 333, ශතක 12

වයස අවුරුදු 35 ඉක්මවූ පසු වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වනුයේ ග්‍රැහැම් ගූච්ය. ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 333ක් රැස්කළේ තම 37වන උපන්දිනයෙන්ද අනතුරුවය.


ජැක් හොබ්ස්

තරග 33, ලකුණු 2945, සාමාන්‍ය 56.53, වැඩිම ලකුණ 211, ශතක 10

පළමු ලෝක යුද්ධය හේතුවෙන් මොහු වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළේ වයස 35න් පසුවය.ඔහු අවසන් ටෙස්ට් ශතකය රැස්කරන විට වයස 46ක් වූ අතර අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ හත්ලිස්හත් වැනි වියෙහිදීය. ජැක් හෝබ්ස් පළමු පෙළ ශතක 199ක් හා ලකුණු 61760ක් රැස්කොට ඇති පිතිකරුවෙකි.


යුනිස් ඛාන්

තරග 39, ලකුණු 3534, සාමාන්‍ය 52.74, වැඩිම ලකුණ 218, ශතක 14

වයස අවුරුදු 35 ඉක්මවූ පසු වැඩිම ටෙස්ට් ශතක රැස්කොට ඇත්තේ යුනිස් ඛාන්ය. ඔහු ලකුණු 52.74ක පිතිකරණ සාමාන්‍යයක්ද රදවා ගැනීමට සමත් වූ අතර වයස අවුරුදු 39දී මොහු ක්‍රිකට් පිටියට සමු දුනි.


ක්ලයිව් ලොයිඩ්

තරග 45, ලකුණු 2921, සාමාන්‍ය 52.16, වැඩිම ලකුණ 161*, ශතක 8

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකු වූ ක්ලයිව් ලොයිඩ් ටෙස්ට් පිටිය තුළ රදවා ගෙන ඇති පිතිකරණ සාමාන්‍ය ලකුණු 43.75කි. නමුත් ඔහුගේ අවසන් ටෙස්ට් තරග 45 තුළදී පිතිකරණ සාමාන්‍ය 52.16ක රදවාගන්නට ඔහුට හැකිවිය.


මිස්බා උල් හක්

තරග 63, ලකුණු 4509, සාමාන්‍ය 47.46, වැඩිම ලකුණ 135, ශතක 8

වයස 35 ඉක්මවූ පසු වැඩිම ටෙස්ට් තරග ගණනක් ක්‍රීඩා කොට ඇති ක්‍රීඩකයා වනුයේ මිස්බා උල් හක් ය. ඔහු වසය 35 ඉක්මවූ පසු  තරග 63කදී පාකිස්තාන ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරමින් ලකුණු 4509ක් රැස්කොට ඇත.


පැට්සි හෙන්ඩ්‍රන්

තරග 44, ලකුණු 3189, සාමාන්‍ය 53.15, වැඩිම ලකුණ 205*, ශතක 7

තමා ක්‍රීඩා කළ ටෙස්ට් තරග 51 අතුරින් පැට්සි තරග 44ක්ම ක්‍රීඩා කොට ඇත්තේ වයස 35 ඉක්මවූ පසුවයි. වැඩිම වයසකදී ජාත්‍යන්තර ටෙස්ට් ශතක ලාභීන් අතර දෙවැන්නා බවට පත්ව ඇත්තේද පැට්සිය.


ඇලෙක් ස්ටීවර්ට්

තරග 58, ලකුණු 3310, සාමාන්‍ය 37.19, වැඩිම ලකුණ 164, ශතක 5

කඩුලු රකින්නෙකු වන ඇලෙක් ස්ටීවර්ට් වයස 35 ඉක්මවූ පසු ක්‍රීඩා කළ තරග 58න් 53කදී කඩුලු රකින්නෙකු ලෙසින් එංගලන්ත කණ්ඩායමට සිය දායකත්වය සපයා ඇත.


ශේන් වෝන්

තරග 33, කඩුලු 181, සාමාන්‍ය 24.66, කඩුලු 5හි අවස්ථා 18

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දෙවන වැඩිම කඩුලු ලාභියා වන ශේන් වෝන් වයස අවුරුදු 35 ඉක්මවූ පසු ටෙස්ට් කඩුලු 181ක් බිදහෙලන්නට සමත් වී ඇත. ඕස්ට්‍රේලියානු පාදගපන්දු යවන්නෙකු වූ ක්ලැරන්ස් ග්‍රිමෙට් වයස 35 ඉක්මවූ පසු කඩුලු 192ක් දවාගෙන තිබුණද ඔහුව මෙම කණ්ඩායමට ඇතුළත් වී නොමැත.


රංගන හේරත්

තරග 46, කඩුලු 233, සාමාන්‍ය 26.83, කඩුලු 5හි අවස්ථා 18

වයස 35 ඉක්මවූ පසු ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වනුයේ රංගන හේරත් ය. ඔහුගේ සමස්ත ටෙස්ට් කඩුලු 433 අතුරින් 233ක්ම දවාගෙන ඇත්තේ වයස 35 ඉක්මවූ පසුවයි.


ජේම්ස් ඇන්ඩර්සන්

තරග 48, කඩුලු 178, සාමාන්‍ය 21.56, කඩුලු 5හි අවස්ථා 10

මේ වන විට හතළිස් හැවිරිදි වියෙහි පසුවන ජේම්ස් ඇන්ඩර්සන් වයස 35 ඉක්මවූ පසු ටෙස්ට් කඩුලු 178ක් දවාගැනීමට සමත් වී ඇත. ඔහුට රංගන හේරත්ගේ වාර්තා බිදහෙලන්නට අවස්තාව තවමත් පවතී.


සිඩ්නි බානස්

තරග 18, කඩුලු 139, සාමාන්‍ය 14.80, කඩුලු 5හි අවස්ථා 18

වයස 35 ඉක්මවූ පසු ටෙස්ට් කඩුලු 180ක් දවාගෙබ සිටින කට්නි වෝල්ෂ් අභිබවමින් සිඩ්නි බානස් මෙම කණ්ඩායමේ ස්ථානය තහවුරු කොටගෙන ඇත. ඔහු වයස 35 ඉක්මවූ පසුව කඩුලු 100ක් දවාගෙන ඇත්තේ 14ක සාමාන්‍යක් රදවා ගනිමිනි. ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් වයස්ගතම පන්දු යවන්නා වනුයේද සිඩ්නි බානස්ය. ඔහු වයස අවුරුදු 40 දින 301කදී කඩුලු 10ක් දවාගෙන ඇත.

148 views0 comments