• Shahan Fernando

වනිඳු, මොයින්, රසල් ILT20 ලීගයට අත්සන් තබන ඉහළම වටිනාකමින් යුතු ක්‍රීඩකයින් අතරට.

Updated: Aug 9



එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කෙරෙන ILT20 විස්සයි විස්ස ක්‍රිකට් ලීගය පිළිබඳව මින් පෙරත් අපි ඔබ හමුවේ සටහනක් තබනු ලැබුවා. තරඟාවලියට සහභාගී වන ඉහළම වටිනාකමකින් යුතු ක්‍රීඩකයින්ට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 (400000) කට ආසන්න ඉහළ ගෙවීමක් සිදුකිරීමට යෝජිත මෙම තරඟාවලිය ක්‍රීඩක ගාස්තු අතින් දෙවැනි වන්නේ IPL තරඟාවලියට පමණයි.


මෙම තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් සඳහා අත්සන් තැබිය හැකි ප්‍රමුඛ පෙළේ විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද දිනයේදී ESPNCricinfo වෙබ් අඩවිය අනාවරණ කළා. මේ සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලත්. එම ක්‍රීඩකයින් වන්නේ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ භානුක රාජපක්ෂයි.


මේ සඳහා තෝරාගෙන ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ Moeen Ali, Andre Russel, Dawid Malan, Sunil Narine, Evin Lewis, Colin Munro, Fabian Allen, Sam Billings, Tom Curran, Akeal Hosein, Tom Banton, Sandeep Lamichhane, Chris Lynn, Rovman Powell යන ක්‍රීඩකයින්.


කණ්ඩායම් 6කින් සමන්විත මෙම තරඟාවලියේ හිමිකාරීත්වය දරන කණ්ඩායම් විසින් වෙන්දේසියකින් තොරව සෘජුවම මෙම ක්‍රීඩකයින් සමඟ සාකච්චා කර කණ්ඩායම් සමඟ එක්වීමට අත්සන් තබනු ඇති. ලෝක ධනවතුන් අතර පෙරමුණේ පසුවන ඉන්දියාවේ මුකේෂ් අම්භානිට අයත් සමාගමක් වන Reliance Industries මෙන්ම Kolkata Knight Riders කණ්ඩායම වැනි ප්‍රභල සමාගම් මෙහි කණ්ඩායම් මිලදී ගෙන ඇති බවයි ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ.


කෙසේ නමුත් මෙතෙක් මෙම තරඟාවලියට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන රටවල් නියෝජනය කරමින් කිසිඳු ක්‍රීඩකයෙක් සම්බන්ද වී නැහැ. ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකස් කරගැනීමට කණ්ඩායම් වලට අවස්තාව හිමිවේ. ඉන් ක්‍රීඩකයින් 12ක් විදෙස් ක්‍රීඩකයින් විය යුතු අතර 6 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කල යුතුයි. තරඟාවලිය ලබන වසරේ ජනවාරි මස ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

5,141 views0 comments