• Chathura Ramanayake

වනිදු හයවන තැන රැකගනිද්දී භානුක ශ්‍රේණිගතකිරීම්හි ඉහළට පැමිණෙයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා ද සමගින් ශ්‍රේණිගතකිරීම්හි වෙනස්කම් රැසක් සිදු වී ඇත.


ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරන විට පන්දු යවන්නන් අතර හයවැන්නා වූ වනිදු හසරංග සැප්තැම්බර් හය වැනිදා නිකුත් කළ ශ්‍රේණිගතකිරීම් අනුව නවවැනි ස්ථානයට පත් වූ අතර මහීෂ් තීක්ෂණ එදින ශ්‍රේණිගතකිරීම්හි 8වන ස්ථානය තෙක් එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබුණි. එමෙන්ම පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි ද පැතුම් නිස්සංක අටවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබුණි.


ආසියානු කුසලාන අවසන් මහා තරගය හා අවසන් මහා තරගයට පෙර තරගයේ දැක්වූ දක්ෂතා අනුව ශ්‍රේණිගතකිරීම්හි වෙනස්කම් සිදු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි නැවත වරක් හයවන ස්ථානය තෙක් යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි අටවැන්නා  බවට පත්ව ඇත්තේ සිය හොදම රේටින් ප්‍රමාණය ද වාර්තා කරමිනි.


ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි අටවන ස්ථානයට පත්ව ඇත. පැතුම් නිස්සංක අවසන් මහා තරගයට පෙර හත්වන ස්ථානයේ රැදීසිට ඇති අතර ඔහුට නැවත අටවැන්නා බවට පත්වන්නට සිදුව ඇත. ආසියානු කුසලාන අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ භානුක රාජපක්ෂ විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 33කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 34වන ස්ථානය හිමිකරගනිමිනි.


එමෙන්ම වනිදු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරෙහි සිව්වන ස්ථානය තෙක් ස්ථාන හතරකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.



ආසියානු කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැදෙන ස්ථාන


පන්දු යවන්නන්

වනිදු හසරංග  - 6 (+1)

මහීෂ් තීක්ෂණ - 8 (-)

චාමික කරුණාරත්න - 42 (+4)

දුෂ්මන්ත චමීර - 47 (-2)


පිතිකරුවන්

පැතුම් නිස්සංක - 8 (-1)

භානුක රාජපක්ෂ - 34 (+33)

චරිත් අසලංක - 36 (-1)

දසුන් ශානක - 40 (-1)

කුසල් මෙන්ඩිස් - 54(-7)

97 views0 comments