• Chathura Ramanayake

වත්මන් ශ්‍රේණිගතකිරීම් අනුව නම් කළ විස්ඩන් ලෝක ටෙස්ට් පිළට ශ්‍රී ලාංකිකයෙකුත් !!



වර්තමාන ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් පදනම් කොට ගනිමින් ලොව හොදම ටෙස්ට් කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රකට විස්ඩන් සගරාව කටයුතු කොට ඇත. ඒ අනුව ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම රැඳෙන ආරම්භක පිතිකරුවන් දෙදෙනා, මැදපෙළ පිතිකරුවන් තිදෙනා, හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා, හොදම කඩුලු රකින්නා, හොදම වේගපන්දු යවන්නන් තිදෙනා හා හොදම දගපන්දු යවන්නා මෙම කණ්ඩායමට ඇතුළත්ය.


මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් නම් කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා සමගින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නයි. උස්මාන් කවාජාට 2019 වසරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර නැවතත් කණ්ඩායමට පැමිණෙමින් අලුබදුන තරගාවලියේ ශතක 2ක්ද පාකිස්තානයේදී ශතක 2ක් හා ලකුණු 90 ඉක්මවූ ඉනිම් 2ක්ද ක්‍රීඩා කළේය. ඔහු වත්මන් ශ්‍රේණිගතකිරීම්හි හත්වන ස්ථානයේ රැදී සිටියි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අවසන් වසර 5 තුළදී ටෙස්ට් පිටියේ ආරම්භක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව(3269) වාර්තා කොට ඇත්තේ ආරම්භක පිතිකරුවකු සතු වැඩිම ශතක(8) ගණනද රැස්කරමිනි.


මෙම කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙසින් මානස් ලබුශේන් කටයුතු කරන අතර ඔහු 2019 වසරේ සිට ටෙස්ට් පිටියේ අංක තුන පිතිකරණ ස්ථානයේ වැඩිම ලකුණු ලාභියා හා ශතක ලාභියා බවට පත්ව ඇත. ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතර ප්‍රමුඛයා වන ජෝ රූට් මෙම කණ්ඩායමට ඇතුළත්ය. අවසන් වසර 5 තුළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු හා ශතක රැස්කොට ඇත්තේද ජෝ රූට් ය. ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි අංක තුන ස්ථානයේ රැඳෙන බාබර් අසාම්ද මෙම කණ්ඩායමට ඇතුළත් අතර ඔහු සිය අවසන් ටෙස්ට් ඉනිම 10න් හතකදීම ලකුණු 50 සීමාව ඉක්මවන්නට සමත් වී ඇත.


කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් නම් කොට ඇති අතර ඔහු එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවලට එරෙහිව ශතක රැස්කොට ඇත. ටෙස්ට් ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ප්‍රමුඛයා වන ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාද විස්ඩන් සගරාව නම් කළ මෙම කණ්ඩායමට ඇතුළත්ය. කණ්ඩායමට නම් කොට ඇති දගපන්දු යවන්නනා වනුයේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ය. ඔහු ටෙස්ට් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත් ව ඇත. විස්ඩන් සගරාව නම් කළ මෙම කණ්ඩායමට වේගපන්දු යවන්නන් ලෙසින් ශ්‍රේණිගතකිරීම්හි ඉහළින් රැදීසිටින පැට් කමින්ස්, ශහීන් අෆ්‍රිඩි හා ජස්ප්‍රිට් බුම්‍රා ඇතුළත් ය.


වත්මන් ශ්‍රේණිගතකිරීම් අනුව නම් කළ හොදම ටෙස්ට් කණ්ඩායම


උස්මාන් කවාජා

දිමුත් කරුණාරත්න

මානස් ලබුශේන්

ජෝ රූට්

බාබර් අසාම්

රිෂාබ් පාන්ට්

රවීන්ද්‍ර ජඩේජා

රවිචන්ද්‍රන් අශ්වින්

පැට් කමින්ස්

ශහීන් අෆ්‍රිඩි

ජස්ප්‍රිට් බුම්‍රා

4,037 views0 comments