• Chathura Ramanayake

ලීග් තරගාවලි සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය හඬ අවදි කරයි !!!


වාර්ෂික ක්‍රිකට් කැලැන්ඩරයේ විස්සයි විස්ස ලීග් තරග වෙනුවෙන් වෙන්කොට ඇති අවකාශය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනය කනස්සල්ල පළකොට ඇත. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ලීග් ක්‍රිකට් තරගාවලියෙන් එල්ල කරන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ICCය වෙත ලිපියක් යොමුකර ඇත.


එම ලිපියෙන් යෝජනා කොට ඇත්තේ ICC විධායක නිළධාරීවරයා ඇතුළු කණ්ඩායම මාස තුනක් ඇතුළත මෙම කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ යුතු බවයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් දීර්ඝ කාලසීමාවක් වෙන්කොට තිබීම හේතුවෙන් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වීම මෙම ලිපිය යොමු කිරීමට ප්‍රබල හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.


සෑම රටක්ම පාහේ විස්සයි විස්ස ලීග් තරගාවලි පවත්වන පසුබිමක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරයට පූර්ණ වශයෙන් වෙන් වන්නේ මාස 3ක් වැනි කාලසීමාවක් පමණි. වාර්ෂික ක්‍රිකට් කැලැන්ඩරය පහත ආකාරයට ලීග් ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් වෙන්කොට ඇත.


ජනවාරි මාසය - බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය, බිග්බෑෂ් ලීගය, දකුණු අප්‍රිකානු ලීගය, එක්සත් අරාබි ලීගය

පෙබරවාරි මාසය - බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය, පාකිස්තාන සුපර් ලීගය

මාර්තු මාසය - ඉන්දීය ප්‍රිමියර් ලීගය, පාකිස්තාන සුපර් ලීගය

අප්‍රේල්, මැයි හා ජුනි මාස - ඉන්දීය ප්‍රිමියර් ලීගය

අගෝස්තු මාසය - හන්ඩ්‍රඩ් තරගාවලිය, ලංකා ප්‍රිමියර් ලීගය

සැප්තැම්බර් මාසය - කැරීබියන් ප්‍රිමියර් ලීගය

දෙසැම්බර් මාසය - බිග්බෑෂ් ලීගය


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල වාර්ෂික මහා සැසිවාරයේදී පාකිස්තානය මෙම කරුණ සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානය සූදානමින් පසුවන බව එරට ක්‍රිකට් විධායක නිළධාරී ෆයිසාල් හුස්නේන් සදහන් කොට ඇත.

" දේශීය ක්‍රිකට් ලීග් තරග ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයෙන් අයත් කරගන්නා කාලය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. සමහර ලීග් තරගාවලි මාස 2ක 3ක් පවත්වනවා. මෙය පිළිබඳව සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ගයක් සැකසීමට අවශ්‍යයි."


පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙන්ම තවත් රටවල් දෙකක ක්‍රිකට් ආයතනයන් දෙකකටද මෙම ගැටලුව පැන නැගී ඇති බවද ෆයිසාල් හුස්නේන් සදහන් කොට ඇත. එළඹෙන ජූලි 25 හා 26 දිනවල බර්මින්ග්හැම්හිදී පැවැත්වෙන වාර්ෂික මහා සැසිවාරයේදී මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම න්‍යාය පත්‍රයටද ඇතුළත් කොට ඇත.

63 views0 comments