• Chathura Ramanayake

ලංකා ප්‍රිමියර් ලීගය දෙසැම්බර් මාසයේදී !!!



මෙම වසරේ අගෝස්තු මසදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර දෙසැම්බර් මසදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය හේතුවෙන් තරගාවලිය දෙසැම්බර් මාසය තෙක් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තරගාවලි සංවිධායකයන් වන IPG ආයතනය තීරණය කොට ඇත.


LPL 2022 නැවත කාලසටහන්ගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් IPG ආයතනයෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මෙසේ සදහන් කොට ඇත. “ LPL තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම ධනාත්මක බලපෑමක් එල්ල කිරීමට අපිට අවශ්‍යයි. තරගාවලිය දැන් පැවැත්වුවහොත් එම අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වෙයි කියලා අපිට හිතෙනවා"


" දෙසැම්බර් වන විට තත්වය ස්ථාවර වෙයි කියලා අපේක්ෂා කරනවා. ඉන් අදහස් කරන්නේ විදේශීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හා ක්‍රීඩකයන්ගේ පවුල් සාමාජිකයන් හා මිතුරන් දුෂ්කරතාවයකින් තොරව තරගාවලිය හා සම්බන්ධ වෙන්න පුලුවන් කියලයි. ප්‍රේක්ෂකයන්ට හොදම අත්දැකීම ලබාදීමට අපිට අවශ්‍යයි. ඒ හින්දා අපි හිතනවා තරගාවලිය දෙසැම්බර් දක්වා කල් දැමීම සුදුසුයි කියලා."


ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්‍ෂ සමන්ත දොන්ඩන්වල මහතා නැවත තරගාවලිය කාලසටහන්ගත කිරීම පිළිබඳව අදහස් දක්වා ඇත.

"ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලිය පාලනය කළ නොහැකි තත්ත්වයක් හේතුවෙන් නැවත කාලසටහන්ගත කරන්න වුණා. නව කවුළුවක් යටතේ තරඟාවලිය පැවැත්වීමට හැකිවනු ඇතැයි මට විශ්වාසයි. රටේ වඩා හොඳ සහ වැඩිදියුණු කළ ආර්ථික පරිසරයක් තුළ ක්‍රීඩකයින්ගේ සිත් ඇදගන්නා තරඟාවලියක් පැවැත්වීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා."

0 views0 comments