• Chathura Ramanayake

රෝහිත් ෂර්මා අෆ්‍රිඩි අභිබවා යයි !!



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතරෙහි දෙවැන්නා බවට පත් වීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඊයේ දිනයේදී සමත්විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවති සිව්වන විස්සයි විස්ස තරගයේදී හයේ පහර 3ක් එල්ල කිරීමත් සමගිනි. ඒ අනුව මෙම හයේ පහර ත්‍රිත්වයත් සමගින් පාකිස්තාන හිටපු ක්‍රීඩක ශහීඩ් අෆ්‍රිඩි අභිබවා යමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතරෙහි දෙවැන්නා බවට පත් වන්නට රෝහිත් ෂර්මා සමත් විය.


රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඉනීම 427කට ක්‍රීඩා කරමින් හයේ පහර 477ක් රැස්කොට ඇත. ඊට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එල්ල කරන ලද හයේ පහර 64ක්, එක්දින පිටියේ එල්ල කළ හයේ පහර 250ක් හා විස්සයි විස්ස පිටියේ එල්ල කළ හයේ පහර 163ක් ඇතුළත්ය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වනුයේ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ය. ඔහු ඉනීම 551ක් තුළදී හයේ පහර 553ක් එල්ල කොට ඇත.


හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්‍රිඩි වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර තුන්වැන්නා බවට පත්විය. ඔහු ජාත්‍යන්තර ඉනීම් 508ක් තුළදී හයේ පහර 476ක් එල්ල කොට ඇත. වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතරෙහි සිව්වන හා පස්වන ස්ථාන පිළිවෙලින් නවසීලන්ත ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් මැකලම් හා මාටින් ගප්ටිල්ට හිමිවී ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කොට ඇත්තේ සනත් ජයසූරියයි. ජයසූරිය ඉනීම 651ක් තුළ හයේ පහර 352ක් රැස්කොට ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන්

ක්‍රිස් ගේල් - 553

රොහිත් ෂර්මා - 477

ශහිඩ් අෆ්‍රිඩි - 476

බ්‍රෙන්ඩන් මැකලම් - 398

මාටින් ගප්ටිල් - 379

මහේන්ද්‍ර සිං දෝනි - 359

සනත් ජයසූරිය - 352

ඉයන් මෝගන් - 346

ඒ බී ඩිවිලියස් - 328

ජෝස් බට්ලර් - 275

37 views0 comments