• Shaminda Jayarathne

රොනාල්ඩෝ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ මට්ටමේ නෑ - පුහුණුකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වර්තමානයේදී තමන්ගේ කණ්ඩායමේ තත්ත්වයට බොහෝ පිටුපසින් සිටිනා බවට මැන්චෙස්ටර් යුනයිටඩ් නව පුහුණුකරු එරික් ටෙන් හග් විසින් චෝදනා කර සිටිනවා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේ පසුගියදා තරඟවාරයට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා කළ අවසන් පුහුණු තරඟයෙන් පසුවයි.


මෙවර තරඟවාරයේදී රොනාල්ඩෝ විසින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමේ සූදානමක් පවතින බවට බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා පළ කළත් අවසානයේදී නැවත රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමගින් පුහුණුවීම් වලට එක් වුණා. ඉන් අනතුරුව ඔහු පසුගියදා පැවති පුහුණු තරඟයේදී ස්පාඤ්ඤයේ රායෝ වැයකානෝ ක්‍රීඩා සමාජය සමගින් පළමු අර්ධය ක්‍රීඩා කළා. නමුත් පළමු අර්ධය අවසන් වීමෙන් පසුව රොනාල්ඩෝ ව පිටියෙන් ඉවතට ගැනීමට එරික් ටෙන් හග් කටයුතු කළා.



මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ නව පුහුණුකරු වන එරික් ටෙන් හග්

ඡායාරූපය - www.goal.com


රොනාල්ඩෝ ඉවතට පැමිණීමෙන් අනතුරුව දෙවන අර්ධයේදී නොසිට ක්‍රීඩාංගනයෙන් පිටත්ව යන ආකාරයද වාර්තා වී තිබුණා. කෙසේ හෝ තරඟයෙන් පසු අදහස් ප්‍රකාශ කළ එරික් ටෙන් හග් ගේ මතය වූයේ රොනාල්ඩෝ පෙර පරිදි වේගවත් නොවන බවත් ඔහු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් සිටිනා මට්ටමට පැමිණීමට නම් තව බොහෝ වෙහෙස විය යුතු බවත් ය.


පසුගිය තරඟවාරයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉතාමත්ම අසාර්ථක තරඟවාරයක් නිමා කළා. මේ හේතුවෙන් ඔවුන් නවක පුහුණුකරුවෙක් බඳවා ගැනීමට කටයුතු කළ අතර එලෙස පැමිණියේ ඒ වන විට නෙදර්ලන්තයේ අයෑක්ස් (Ajax) සමග කටයුතු කළ එරික් ටෙන් හග්. ඔහු ප්‍රසිද්ධ වී සිටින්නේ නවක ක්‍රීඩකයන් නිර්මාණය කරමින් ක්‍රීඩා කරන පුහුණුකරුවෙක් ලෙසටයි. කෙසේ වෙතත් ටෙන් හග් ගේ මෙම ප්‍රකාශය මේ වන විට පාපන්දු ලෝකයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

0 views0 comments