• Chathura Ramanayake

රාජිත හා කුමාර පෙරටු කොටගත් නිල් බලකායේ පන්දු බලඇණිය !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ එක් එක් කණ්ඩායමෙහි පිතිකරණ හා පන්දු යැවීමේ බලඇණිය පිළිබඳව Creedanet අප ගෙන එන ලිපි මාලාවෙන් අද දිනයේදී අවදානය යොමු කෙරෙනුයේ SLC Blues කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය පිළිබඳවයි.


චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු Blues කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පන්දු යවන්නන් කිහිපදෙනෙකු ඇතුළත්ය. ඒ අතරට වේගපන්දු යවන්නන් වන ලහිරු කුමාර, කසුන් රාජිත, ප්‍රමෝද් මදුෂාන් හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන් ඇතුළත්ය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චරිත් අසලංක, ධනංජය ද සිල්වා හා ධනුෂ්ක ගුණතිලක යන දකුණත් පිටදග පන්දු යවන්නන්ද මෙම කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමේ සූදානමින් පසුවෙයි.


එමෙන්ම වමත් පිටදග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හා තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් යන පන්දු යවන්නන්ද නිල් බලකායේ පන්දු යවන්නන් ලෙසින් කටයුතු කිරීමට සූදානමින් පසුවෙයි. දේශීය ක්‍රිකට් පිටිය තුළ පන්දුවෙන් දස්කම් පා ඇති අශේන් ඩැනියෙල්, නිපුන් රන්සික හා තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු සමරකෝන්ද මෙම් කණ්ඩායමට ඇතුළත්ය. මෙම පන්දු යවන්නන් දේශීය හා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දුවෙන් දස්කම් පා ඇති ආකාරය පිළිබඳව දැන් විමසා බලමු.


මෙම පන්දු යවන්නන් අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි ජාත්‍යන්තර කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරයි. ඔහු තරග 19ක් තුළදී කඩුලු 23ක් දවාගැනීමට සමත් වී ඇත. ලහිරු කුමාර සමස්ත විස්සයි විස්ස පිටිය තුළදී කඩුලු 45ක් දවාගෙන ඇති අතර ඊට කඩුලු 4ක් බැගින් දවාගත් එක් අවස්ථාවක්ද ඇතුළත්ය. මෙම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 25කට ක්‍රීඩා කොට ඇති අතර ඔහු එහිදී කඩුලු 11ක් දවාගෙන ඇත. චාමික කරුණාරත්න විස්සයි විස්ස පිටිය තුළදී කඩුලු 36ක් දවාගැනීමට සමත් වී ඇත.


කණ්ඩායම සතු තවත් එක් වේගපන්දු යවන්නකු වන කසුන් රාජිත ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 10ක් බිදහෙලා ඇති අතර දේශීය විස්සයි විස්ස පිටියේ තරගද සමගින් සමස්ත විස්සයි විස්ස තරග 42කදී කඩුලු 66ක් දවාගැනීමට රාජිතට හැකි වී ඇත. Blues කණ්ඩායමේ අනික් වේගපන්දු යවන්නා වන ප්‍රමෝද් මදුෂාන් විස්සයි විස්ස පිටියේදී කඩුලු 37ක් බිදහෙලා ඇත. කණ්ඩායම සතු දගපන්දු යවන්නන් වන ප්‍රවීන් ජයවික්‍රම හා අශේන් ඩැනියෙල් විස්සයි විස්ස කඩුලු 16 බැගින් දවාගෙන ඇති අතර නිපුන් රන්සික මේ වන විට විස්සයි විස්ස කඩුලු 15ක් බිදහෙලා ඇත.


තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ලහිරු සමරකෝන් විස්සයි විස්ස කඩුලු 25ක්ද සුමින්ද ලක්ෂාන් විස්සයි විස්ස පිටියේදී කඩුලු 13ක්ද දවාගැනීමට සමත්වී ඇත. අවශ්‍ය විටකදී පන්දු යවමින් කඩුලු බිදහෙලා ඇති ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා හා චරිත් අසලංක යන ක්‍රීඩකයන් පිළිවෙලින් විස්සයි විස්ස පිටියේදී කඩුලු 31ක් 26ක් හා 18ක් දවාගැනීමට සමත් වී ඇත. අශේන් බණ්ඩාරද විස්සයි විස්ස කඩුලු 4ක් දවාගෙන ඇති පාදගපන්දු යවන්නෙකි.



ක්‍රීඩකයා


ඉනීම


කඩුලු


හොදම පන්දු යැවීම


දළ ලකුණු

ලහිරු කුමාර


37

45

4/17

8.46

චාමික කරුණාරත්න

52

36

4/28

8.33

​කසුන් රාජිත

41

66

4/20

8.16

ප්‍රමෝද් මදුෂාන්

27

37

4/27

7.11

ලහිරු සමරකෝන්

26

25

3/19

8.39

ප්‍රවීන් ජයවික්‍රම

19

16

3/14

5.94

​අශේන් ඩැනියෙල්

13

16

3/12

6.50

නිපුන් රන්සික

16

15

4/11

7.14

​සුමින්ද ලක්ෂාන්

18

13

3/37

7.47

​ධනුෂ්ක ගුණතිලක

48

31

4/21

7.55

ධනංජය සිල්වා

45

26

2/9

7.32

චරිත් අසලංක

22

18

4/14

6.91




84 views0 comments