• Chathura Ramanayake

රසෙල් හා කොදෙව් ක්‍රිකට් බලධාරීන් ගැටෙයි !!!



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නොමැති වීම සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් හා තේරීම් කමිටු ප්‍රධානී ඩෙස්මන්ඩ් හේන්ස් පසුගිය දා අදහස් පළ කොට ඇත. කණ්ඩායම සතු ප්‍රභල ක්‍රීඩකයන් ඉන්දීය තරගාවලිය වෙනුවෙන් එක් නොවූ අතර තරගාවලිය පරාජයට පත් වන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිදුවිය. මෙම පරාජයෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් ප්‍රධාන ක්‍රීඩකයන් නොමැති වීම පිළිබඳව කණගාටු වූ අතර ඔහු සදහන් කොට සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන මෙන් පරිපාලකයන් විසින් ක්‍රීඩකයන්ගෙන් අයැදීමක් සිදු නොකරන බවයි.


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස දී ආරම්භ වීමට නියමිත බැවින් සෑම රටක්ම තරගාවලියට සිය හොදම කණ්ඩායම තෝරාගනිමින් සිටියි. නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගිය කාල සීමාව තුළදී ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සේවය හිමි නොවූ අතර දෙවරක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් බංග්ලාදේශය හා ඉන්දියාව හමුවේ පිට පිට තරගාවලි 2ක් පරාජයට පත් විය.


බටහිර ඉන්දීය කොදෙව් ප්‍රභල ක්‍රීඩකයන් වන සුනිල් නරායන් හා ඇන්ඩ්‍ර රසෙල් මේ දිනවලදී The Hundred තරගාවලියට ක්‍රීඩා කරයි. තේරීම් කමිටු ප්‍රධානී ඩෙස්මන්ඩ් හේන්ස් ESPNcricinfo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තේරීම් කටයුතු වෙනුවෙන් ඇන්ඩ්‍ර්‍ර රසෙල් විසින් තමාව ඉදිරිපත් කොට නොමැති නිසා ඔහුව සංචිතයට තෝරා නොගත් බවයි.


ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් හා තේරීම් කමිටු ප්‍රධානියාගේ මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රම් ගිනුමෙහි ඇන්ඩ්‍ර රසෙල් සටහනක් තබා ඇත. " මම දැනන් හිටියා මේ දේ වෙයි කියලා. නමුත් මම නිහඬව ඉන්නම්."ලෙසින් ඔහු සදහන් කොට ඇත.

90 views0 comments