• Chathura Ramanayake

රවීන් සිල්වාගේ කණ්ඩායම යොවුන් ටෙස්ට් වාර්තා පොත් අතරට !!!



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන යොවුන් ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙයි. තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනීම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 542ක් ලෙසින් දිස්විය. ඒ අනුව මෙය ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් ඉතිහාසයේ ඉනීමක වාර්තා වූ දෙවන ඉහළම ලකුණු ගණන සමවූ ඉනීමක් බවට පත් විය.තවද මෙය යොවුන් ටෙස්ට් ඉතිහාසයේ ඉනීමක් තුළ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු අතර 14ක්වන ස්ථානයටද පත් විය.


ශ්‍රී ලංකා පළමු ඉනීමේදී ශෙවෝන් ඩැනියෙල් ලකුණු 155ක් රැස්කළ අතර නායක රවීන් ද සිල්වා ලකුණු 74ක් රැස්කළේය. සෙසු පිතිකරුවන් වූ විනුජ රන්පුල් ලකුණු 65ක්, පවන් පතිරාජ ලකුණු 55ක් හා දුවිදු රණතුංග ලකුණු 54ක් රැස්කළහ. මින් පෙර 2011 වසරේදී භානුක රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනීමේදී ලකුණු 542ක් රැස්කොට ඇත.


යොවුන් ටෙස්ට් තරගයක ඉනීමක් තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැස්කොට ඇති වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කොට ඇත්තේ අසංක ගුරුසිංහ ප්‍රමුඛ යොවුන් කණ්ඩායමයි. ඔවුන් 1986 වසරේදී එංගලන්තයට එරෙහිව බ්‍රිස්ටල්හිදී කඩුලු 7කට ලකුණු 576ක් රැස්කොට ඇත. තවද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් ටෙස්ට් ඉනීමක ලකුණු 500 සීමාව ඉක්මවා ඇත්තේද වසර 11කට පසුව වීම සුවිශේෂීය. තවද 2020 වසරෙන් පසුව යොවුන් ටෙස්ට් තරගයක ඉනීමක් තුළ වාර්තා වූ ඉහළම ලකුණු ගණන බවටද මෙය පත්විය.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් ටෙස්ට් ඉනීමක රැස්කොට ඇති ඉහළම ලකුණු

එංගලන්තයට එරෙහිව 1986 වසරේදී කඩුලු 7කට ලකුණු 576

එංගලන්තයට එරෙහිව 2011 වසරේදී කඩුලු 10කට ලකුණු 542

එංගලන්තයට එරෙහිව 2022 වසරේදී කඩුලු 10කට ලකුණු 542

පාකිස්තානයට එරෙහිව 2005 වසරේදී කඩුලු 9කට ලකුණු 504

ඉන්දියාවට එරෙහිව 2013 වසරේදී කඩුලු 10කට ලකුණු 499

949 views0 comments