• Chathura Ramanayake

යූසුෆ් පතාන්ගේ සටන්කාමී ඉනීම Bhilwara Kings කණ්ඩායමට ජය ගෙන දෙයි.

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ දෙවන තරගය ඊයේ රාත්‍රියේදී ලක්නව්හිදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් හර්බජාන් සිංගේ නායකත්වයෙන් යුතු මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සමගින් තරග වැදුනේ ඉර්ෆාන් පතාන්ගේ නායකත්වයෙන් යුතු බිල්වාර කිංග්ස් කණ්ඩායමයි.කාසියේ වාසිය හිමිකරගත් ඉර්ෆාන් පතාන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන මනිපාල් ටයිගර්ස් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7කට ලකුණු 153ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඩ් කයිෆ් පන්දු 59කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 73ක් රැස්කළ අතර ප්‍රදීප් ශානු ලකුණු 30ක් රැස් කළේය. පන්දු යැවීමේදී බිල්වාර කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ෆිඩෙල් එඩ්වර්ඩ්ස් ලකුණු 30ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.



ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බිල්වාර කිංග්ස් කණ්ඩායමේ ආරම්භක කඩුලු 2ක ලකුණු 11කදී බිදවැටුනි. අනුව නික් කොම්ප්ටන් ලකුණු 18ක් හා ටන්මේ ශ්‍රීවස්තවා ලකුණු 28ක් බිල්වාර ඉනීමට එක් කලහ. අනතුරුව පිටියට පිවිසෙන යූසුෆ් පතාන් කෙමෙන් කෙමෙන් ලකුණු පුවරුව ඉහළ නංවන්නට වෑයම් කළේය.


අවසන් පන්දුවාර හතර තුළ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 44ක් අවශ්‍ය වූ අතර ඉනීමේ 17වන පන්දුවාරය යැවූ මුරලිදරන්ට එරෙහිව පතාන් සහෝදරයන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි. එමෙන්ම 15වන පන්දුවාරය ද එක් ලකුණක් තුළ යැවූ මුරලි සිය පන්දුවාර හතර තුළ ලකුණු 21කට කඩුල්ලක් දවාගැනීමට සමත් විය.


යූසුෆ් පතාන් ඉනීමේ 19වන පන්දුවාරයේ තෙවන පන්දුවේදී ලකුණු 44ක් රැස්කොට සිටියදී දැවීගිය නමුත් ටීනෝ බෙස් අවසන් පන්දුවාරයේ දී හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කළේ බිල්වාර කිංග්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයග්‍රහණයක් උරුම කර දෙමිනි. තරගයේ වීරයා ලෙසින් ෆිඩෙල් එඩ්වර්ඩ්ස් සම්මානයට පාත්‍ර විය.

1,931 views0 comments