• Chathura Ramanayake

යොවුන් සිංහ පැටවුන් විසින් එංගලන්තය සිය නිජබිමේදීම දණගස්වයි.



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අවසන් දිනටත් අද දිනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 387ක ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. එහිදී ජෝජ් බෙල් ලකුණු 107ක් රැස්කළ අතර දුවිදු රණතුංග කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 141 එක් පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 407ක් රැස්කළේ එංගලන්ත පළමු ඉනීමට වඩා ලකුණු 20කින් පෙරමුණ ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත වන්නිනායක ලකුණු 132ක් රැස්කළ අතර පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බර්ටී ෆෝමන් කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්ත යොවුන් කණ්ඩායම අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කොට සිටියහ. එංගලන්තය වෙනුවෙන් ඊයේ දිනයේදී රෝස් වයිට්ෆීල්ඩ් ලකුණු 110ක් හා බෙන් මැකින්නි ලකුණු 56ක් රැස්කිරීමට සමත් වූහ. අද දිනයේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් සිය ග්‍රහණයට නතුකරගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.


එංගලන්ත දෙවන ඉනීම ලකුණු 292කට සීමා කරන්නට වනුජ සහන් පෙරටුකොටගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වගබලාගත්හ.එංගලන්තය වෙනුවෙන් අද දිනයේදී කිසිදු පිතිකරුවකු ලකුණු 40 සීමාව ඉක්මවන්නට අපොහොසත් වද්දී මැතිව් හර්ට්ස් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් වනුජ සහන් ලකුණු 89ට කඩුලු 4ක්ද දුවිදු රණතුංග ලකුණු 34ට කඩුලු 3ක්ද බිදහෙලීය.


ලකුණු 273ක ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිළේ කඩුලු 4ක් ලකුණු 48ක් තුළ බිදවැටුනි. නමුත් පස්වන කඩුල්ලට ලකුණු 50ක් එක් කරන්නට ‍රනුද හා නායක රවීන්ට හැකිවිය. රවීන් සිල්වාගේ ඉනීම ලකුණු 22කට සීමා වූ නමුත් රනුද සෝමරත්න සමගින් පිටියේ එක්වන ලහිරු දවටගේ ශ්‍රී ලංකා ඉනීම ගොඩනගන්නට විය.


එංගලන්ත පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් හයවන කඩුල්ලට පන්දු 80ක් තුළ ලකුණු 89ක් එක් කරන්නට ලහිරු හා රනුදට හැකිවිය. කඩුලු රකින ක්‍රීඩක ලහිරු දවටගේ පන්දු 49ක් තුළ හතරේ පහර 8ක් සමගින් ලකුණු 49ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. රනුදගේ ශතකය පෙනෙන මානයේදී විනුජ රන්පුල් ලකුණු 18කට දැවී ගියේය.


පන්දු 97කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් සිය මංගල යොවුන් ටෙස්ට් ශතකය වාර්තා කරන්නට රනුද සෝමරත්නට හැකිවිය. රනුද හා වනුජ සහන් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. දිනයේ අවසන් පන්දුවාර පහ තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 3ක් අතැතිව තවත් ලකුණු 18ක් අවශ්‍ය විය. එය හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි පළමු යොවුන් ටෙස්ට් තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.


ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය රනුද සෝමරත්න පන්දු 115කදී හතරේ පහර 12ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 120ක් රැස්කිරීමට සමත් විය. ජයග්‍රහණ වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද අගනා සහයක් ලබා දුන් වනුජ සහන් නොදැවී ලකුණු 23ක් රැස්කළේය.



එංගලන්ත යොවුන් පළමු ඉනීම : 387/10

ජෝජ් බෙල් 107, රෝස් වයිට්ෆීල්ඩ් 86 බර්ටී ෆෝමන්* 58

දුවිදු රණතුංග 4/100, ,වනුජ සහන් 2/56, දුලාජ් සමුදිත 2/105


ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනීම : 301/4

අසිත වන්නිනාය 132, රනුද සෝමරත්න 65, රවීන් ද සිල්වා 62

බර්ටී ෆෝමන් 4/92, එඩී ජැක් 2/62, බෙන්ජමින් ක්ලිෆ් 2/68


එංගලන්ත යොවුන් දෙවන ඉනීම : 292/10

රෝස් වයිට්ෆීල්ඩ් 110 , බෙන් මැකින්නි 56, මැතිව් හර්ට්ස් 39

වනුජ සහන් 4/89, දුවිදු රණතුංග 3/34, රවීන් ද සිල්වා 2/70


ශ්‍රී ලංකා යොවුන් දෙවන ඉනීම :

රනුද සෝමරත්න* 120 , ලහිරු දවටගේ 49

තොම්සන් ඇස්පින්වෝල් 4/67, ඩොමිනික් කෙලී 2/52

264 views0 comments