• Chathura Ramanayake

යොවුන් මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාරගෙන් තවත් ජයග්‍රාහී ඉනීමක් !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. ඒ අශාන් ප්‍රියංජන් ප්‍රමුඛ SLC Greys කණ්ඩායම හා චරිත් අසලංක ප්‍රමුඛ SLC Blues කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් අශාන් ප්‍රියංජන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ තානුක දාබරේ සමගින් අශාන් රන්දිකයි.


අශාන් රන්දික ලකුණු 3කට දවාගැනීමට ධනංජය ද සිල්වාට හැකිවිය. අනතුරුව තානුක දාබරේ හා සංගීත් කුරේ දෙවන කඩුල්ලට ලකුණු 61ක් එක් කරන්නට විය.ලකුණු 21ක් රැස්කොට සිටි සංගීත් කුරේ චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ දැවීයද්දී ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ තානුක දාබරේ ලකුණු 33කදී දවාගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් විය.


නායක අශාන් ප්‍රියංජන් ලකුණු 8ක් රැස්කොට සිටියදී දුවද්දී දවාගැනීමට සුමින්ද ලක්ෂාන් හා සදීර සමරවික්‍රමට හැකිවිය. Greys කණ්ඩායමේ අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 15ක් රැස්කිරීමට නොහැකි වූ අතර දුවිදු තිලකරත්න නොදැවී ලකුණු 11ක්ද මුදිත ලක්ෂාන් ලකුණු 10ක්ද බැගින් රැස්කළහ. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී Greys කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම සිය පන්දුවාර හතර තුළ ලකුණු 13කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.


පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසියේ Blues ආරම්භක පිතිකරු යුගලය සදීර හා ලහිරුයි. නමුත් සදීර සමරවික්‍රම ලකුණු 9කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට දුවිදු තිලකරත්නට හැකිවිය. අනතුරුව ලහිරු උදාර හා චරිත් අසලංක දෙවන කඩුල්ලට ලකුණු 40ක් එක් කළ අතර උදාරගේ ඉනීම ලකුණු 16කදී නිමාවට පත් කරන්නට මිලාන් රත්නායකට හැකිවිය.නැවත වරක් ක්‍රියාත්මක වූ මිලාන් රත්නායක බ්ලූස් නායක චරිත් අසලංකගේ ඉනීම ලකුණු 29කදී නිමාවට පත් කළේය.


ඉන් අනතුරුව පිටියේ එක්වන ධනංජය සිල්වා හා අශේන් බණ්ඩාර කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරන්නට විය. ධනංජය සිල්වා ලකුණු 17කට දැවී යද්දී චාමික කරුණාරත්නටද රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. මිලාන් රත්නායක සිය තෙවන කඩුල්ල ලෙසින් සුමින්ද ලක්ෂාන් දවාගැනීමට සමත් විය. පෙර තරගයේදී මෙන්ම අශේන් බණ්ඩාර සමගින් එක්ව කණ්ඩායමට ලකුණු එක් කළ කසුන් රාජිත හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 6ක් රැස්කළේ තරගය ජයග්‍රහණය කරා ගෙන යමිනි. අගනා ඉනීමක් ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර පන්දු 23කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 27ක් නොදැවී රැස්කළේය. මෙම ජයග්‍රහණයත් සමගින් ක්‍රීඩා කළ තරග 2හිම ජය හිමිකරගත් Blues කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රමුඛයා බවට පත්විය. තරගයේ වීරයා ලෙසින් ප්‍රවීන් ජයවික්‍රම සම්මානයට පාත්‍ර විය.


SLC GREYS : 115/9(20 Overs)

Thanuka Dabare 33 (30), Sangeeth Cooray 21(16)

Praveen Jayawickrama 3/13 (4), Chamika Karunaratne 2/22 (3)


SLC BLUES : 119/6(18.3 Overs)

Charith Asalanka 29 (20), Ashen Bandara *27 (23)

Milan Rathnayake 3/20 (3), Akila Dananjaya 1/18 (4)

736 views0 comments