• Shaminda Jayarathne

යුපුන්ට තියෙන්නෙ දුවන්න! මිලියන 20ක හයිය අරගෙන දුවන්න!!

තත්පර 10.32 යි. ලබාගත් ස්ථානය 5. යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නෙ නෑ. කලබල වෙන්න එපා. මේ කිව්වේ අවුරුද්දකට කලින් 2021 ටෝකියෝ ඔලිම්පික් පළවෙනි වටයේ තරඟයේදී යුපුන් පෙන්වපු දක්ෂතාවය.


එදා යුපුන් අබේකෝන් තමන්ගේ උපරිමය දාලා දිව්වා කියන එක මම විශ්වාස කරනවා. මොකද තරඟයේ ඉදිරිය තමන්ට නොලැබෙනවා කියලා දකිනකොට යුපුන්ට උපරිම ශක්තිය යොදන්නට සිද්ධ වෙනවා. ඒත් ඔහුගේ කාලය නම් මීළඟ වටයට ගමන් කරන්න හොඳටම මදි!


අද යුපුන් අබේකෝන් තත්පර 10.06 කට තරඟය නිමා කරනවා. ඔහු ජයග්‍රහණය කරන්නේ දෙවනියට වඩා බොහොම ඉදිරියෙන්. ඉතින් අනවශ්‍ය ශක්තියක් යෙදවීම අනවශ්‍යයි. මේක මූලික වටය නිසා කොහොමත් ධාවකයෙක් තමන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා කියලා දකිනකොට උපරිම ශක්තිය යොදවන්නේ නෑ. අද යුපුන් දිව්වේ තමන්ගේ උපරිමයට ගොඩක් පිටින්. මේ අවුරුද්දකදී ඔහුගේ වර්ධනය පෙන්නන්න තියෙන හොඳම සාක්ෂිය!


ඔහු මේ තරඟාවලියට එනකොටම මූලික වටයේ ජයග්‍රහණය ලියැවිලා තිබුණා. ඒ විතරක් නෙමෙයි අවසන් පූර්ව වටයේ ජයග්‍රහණයත් ලියැවිලා තියෙනවා. ඔහුගේ තරඟය ආරම්භ වන්නේ අද අවසන් මහා තරඟයේ වෙඩිල්ලත් සමගිනුයි. යුපුන් මූලික වටයේ හොඳම කාලය වාර්තා කළා. සතුටු වෙන්න! හැබැයි දැන්ම ජයග්‍රහණය ගැන උදම් අනන්නට එපා. සුදුසුකම් ලැබූ අනෙක් ධාවකයනුත් තමන්ගේ උපරිමය කළේ නෑ.


සිංහලෙන් කියනවා නම් තැටිය හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නෙ හරියටම රොටිය පුච්චගන්න එකයි.


දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ - පෞද්ගලික හොඳම කාලය 9.84


නයිජීරියාවේ රේමන්ඩ් එකෙව්වෝ - පෞද්ගලික හොඳම කාලය 9.96


කෙන්යාවේ ෆෙර්ඩිනැන්ඩ් ඔමන්යාලා - පෞද්ගලික හොඳම කාලය 9.77


ඕස්ට්‍රේලියාවේ රොහාන් බ්‍රවුනින්ග් - පෞද්ගලික හොඳම කාලය 9.96


මේ උඩ ඉන්නේ යුපුන් ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන්. මේ අය ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නෑ. මේ අතරින් ඔමන්යාලා කියන්නේ 9.77 කට මීටර් 100 දුවන්න පුලුවන් කෙනෙක්. මේ 4 අතරට ඉන්න අනිත් ෆේවරිට් තමා යුපුන් අබේකෝන්!!


ලේසි වෙන්නෙ නෑ. හැබැයි පුලුවන්. ෆයිනල් එකේ තප්පර 10 කින් මේ හැමදේම විසඳෙයි. අමතක කරන්න හොඳ නැතිම දේ තමයි 2002 න් පස්සෙ තවමත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ මීටර් 100 ජයග්‍රාහකයා තත්පර 10 කට උඩින් තරඟයක් නිමා කරලා නෑ. ගියපාර දිනුවේ අර උඩ නම් ලිස්ට් එක තියෙන අකානි සිම්බිනේ ම තමා. ඔහු වාර්තා කරපු කාලය තත්පර 10.03 යි.


අවසන් මහා තරඟයක තියෙන පීඩනය ක්‍රීඩකයෙක්ගෙන් දශම ගානක කාලයක් උදුරගන්න පුලුවන්. ඒත් යුපුන් මෙවර තරඟවාරයේදී 9.96 කට මීටර් 100 දුවනවා. අද තමන්ගේ උපරිම ශක්තිය නැතුව 10.06 කට දිව්වා. යුපුන්ට දුවන්න පුලුවන්. කාලගුණය හරස් නොවේවි. යුරෝපයේ හිටපු කාලයේ අත්දැකීම්, හුරුවීම උදවු වේවි. ඒක මම විශ්වාස කරනවා. ඒක රටක් විශ්වාස කරනවා.


ඉතින් යුපුන්ට තියෙන්නෙ දුවන්න. බලාපොරොත්තු ගොඩයි. රටක්ම යුපුන් දුවනකන් යුපුන් දිනනකන් බලන් ඉන්නවා. හෙට හදවත නවතින තප්පර 10ක් උදා වේවි. ඒ තප්පර 10 ඉවර වෙද්දි යුපුන් මෙඩල් පෝඩියම් එකේ ඉන්නවා දකින්න ලැබුණොත් ඇති. නිකම් නෙමෙයි ජාතික ගීය වාදනය වෙන තැන හිටියොත් හොඳටම ඇති


කවරයේ ඡායාරූපය - Ceylon Sports

0 views0 comments