• Chathura Ramanayake

යුපුන් අබේකෝන් යළිත් වරක් දකුණු ආසියානු වාර්තාව බිදහෙලයි !!!


ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන Resisprint ජාත්‍යන්තර තරගාවලියේ 42වන අදියර, ජූලි මස 3වනදා එනම් අද දිනයේදී පැවැත්විණි. තරගාවලියට ධාවන ඉසව් රැසක් ඇතුළත් වූ අතර දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවලිය දරා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ද අද දිනයේදී මීටර් 100 ඉසව්ව වෙනුවෙන් තරග බිමට පිවිසියේය.


මීටර් 100 ඉසව්වෙහි මූලික වටයේ තරග අදියර 11ක් යටතේ පැවති අතර යුපුන් අබේකෝන් අද පස්වරුවේදී එහි පළමු අදියර වෙනුවෙන් එක් විය. එහිදී තත්පර 10.11ක(W-1.4 m/s) කාලයක් වාර්තා කරමින් එම අදියරේ පළමු ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන්ට හැකි විය .මූලික වටයේ අදියර 11 අවසානයේ කාලගණනය අනුව ක්‍රීඩක පෙළගැස්වීමේදී යුපුන් අබේකෝන්ට දෙවන ස්ථානය හිමිවු අතර ඔහු අවසන් මහා තරගය වෙනුවෙන් ඔහු සුදුසුකම් ලැබීය


මීටර් 100 ඉසව්වෙහි අවසන් මහා තරග මෙරට වේලාවෙන් අද පස්වරු 6.45ට පමණ පැවැත්විණි. එහිදී සිය හොදම කාලගණනය වාර්තා කරන්නට යුපුන් අබේකෝන් සමත් වූයේ සිය නාමය ඉදිරියේ ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාවද නැවත වරක් අලුත් කරමිනි. යුපුන් අබේකෝන් තත්පර 9.96ක(W+1.6 m/s) කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කිරීමට සමත් විය.


 ඒ අනුව මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් නිමකළ 167වන ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට යුපුන් අබේකෝන්ට හැකිවද්දී තත්පර 10කට අඩුවෙන් ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්ව අවසන් කළ 32වන රට බවට ශ්‍රී ලංකාව පත් විය.

14 views0 comments