• Chathura Ramanayake

මෙවර ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර්හිදී - සව්රව් ගංගුලි



එළඹෙන අගෝස්තු හා සැප්තැම්බර් මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සවරව් ගංගුලි තහවුරු කොට ඇත. ඊයේ දිනයේදී පැවති ඉන්දීය ඇපෙක්ස් කවුන්සල සැසිවාරයෙන් අනතුරුව තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බවට ගංගුලි විසින් විදෙස් මාධ්‍ය වෙත සදහන් කොට ඇත.


රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය මෙරටදී පැවැත්වීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සලය වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියරද ශ්‍රී ලංකාව තුළ පවතින තත්වය හමුවේ කල් දැමිණි.


" ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනවා. මෙම කාලයේදී වර්ෂාව නොමැති එකම ස්ථානය වනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි." යනුවෙන් සව්රව් ගංගුලි PTI මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.


මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අගෝස්තු මස 24වනදා ආරම්භ වීමට නියමිත බවත් තරගාවලිය සැප්තැම්බර් මස 10 හෝ 11 අවසන් වනු ඇති බවත් ආසියානු ක්‍රිකට් කවුන්සල ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් හයක් තරග වදිනු ඇත. තරගාවලියට ක්‍රීඩා කරන හයවන කණ්ඩායම තේරීම සදහා වන සුදුසුකම් ලැබීමේ වටයට සිංගප්පූරුව, හොංකොං, කුවේටය හා එක්සත් අරාබි රාජ්‍යය තරග වදිනු ඇත.

0 views0 comments