• Chathura Ramanayake

මුල් පෙළ පිතිකරුවන් තිදෙනාගේ විශිෂ්ඨ දස්කම් හොංකොං පිළ ජය මාවතට ගෙන යයි !!



ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ සිව්වන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ කුවේට් කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතරයි. කණ්ඩායම් ද්විත්වයම එක් තරගය බැගින් ජයගෙන තිබූ නිසාවෙන් ආසියානු කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීමට මෙම තරගය අතිශය වැදගත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දු රකින්නට හොංකොං පිළ තීරණය කළහ.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන කුවෙට් කණ්ඩායමේ මුල්පෙල කඩුලු 3 ලකුණු 24ක් තුළ බිදවැටුනි. කඩුලු රකින ක්‍රීඩක උස්මාන් පටෙල් ලකුණු 19ක්ද නායක මොහොමඩ් අස්ලාම් ලකුණු 21ක් රැස්කළද ඔවුන් දෙදෙනා එතරම් වේගවත් ඉනීම් ක්‍රීඩා කරන ආකාරය දැකගත නොහැකිවිය. කුවෙට් ඉනීම ශක්තිමත් ලකුණු පුවරුවක් කරා ඔසවා තබන්නට විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ එඩ්සන් සිල්වා පන්දු 30කදී හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 56ක් රැස්කිරීමට සමත් විය.


සයිඩ් මොනිබ් පන්දු 6කදී හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 16ක් රැස්කළේය. කුවෙට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 151ක් රැස්කළහ. පන්දු යැවීමේදී හොංකොං කණ්ඩායම වෙනුවෙන් යසීම් මුර්ටාසා, අයිසස් ඛාන් හා ඒසාන් ඛාන් කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට හොංකොං ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 59ක් එක් කළහ. ආරම්භක පිතිකරු යසීම් මුර්ටාසා පන්දු 33කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 46ක් රැස්කළේය. අනතුරුව පිටියේ එක්වූ බාබර් හයාට්, නායක නිසාකට් ඛාන් සමගින් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 88ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනගන්නට විය.ජයග්‍රහණයට ලකුණු 5ක් අවශ්‍යව තිබියදී නායක නිසාකට් ඛාන් දැවී යන්නේ පන්දු 43කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස්කොට සිටින විටයි.


පන්දුවාර 17 පන්දු 4ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට හොංකොං කණ්ඩායමට හැකිවිය. නොදැවුනු වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ බාබර් හයාට් පන්දු 30ක් තුළ හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමගින් ලකුණු 53ක් රැස්කළේය. මෙම ජයග්‍රහණයත් සමගින් සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වන්නට හොංකොං කණ්ඩායමට හැකිවිය.තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ යසීම් මුර්ටාසා සම්මානයට පාත්‍ර විය.



හොංකොං ක්‍රිකට් කණ්ඩායම (images : ACC)

51 views0 comments