• Chathura Ramanayake

මෙන්ඩිස්, වනිඳු, මහීෂ් හා අසිත ප්‍රමුඛ රතු බලකාය ශූරතාවයේ පහස ලබයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ SLC Blues කණ්ඩායමයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කුසල් මෙන්ඩිස් පළමුව පිත්ත අතට ගන්නට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය.


ඒ අවසරයෙන් පිටියට පිවිසෙන නිල් බලකායේ ආරම්භක කඩුල්ල ලෙසින් ලහිරු සමරකෝන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට මහීෂ් තීක්ෂණ සමත් විය. සදීර සමරවික්‍රමගේ ඉනීමද ලකුණු 10කදී නිමාවට පත් කරන්නට නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ සමත් වූයේ විශිෂ්ඨ අන්දමේ උඩපන්දුවක් රැකගනිමිනි. නිල් බලකාය අවසන් මහා ගැටුමේදී මෙහෙයවූ ධනංජය ද සිල්වා හතරේ පහර 4ක් සමගින් ලකුණු 25ක් රැස්කළේය.


ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 37ක් බ්ලූස් ඉනීමට එක් කළේය. පෙර තරග සියල්ලේම මෙන් අද දිනයේදීද නිල් බලකායේ මැදපෙළ වගකීම නොපිරිහෙලා ඉටු කළ අශේන් බණ්ඩාර පන්දු 30කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 40ක් රැස්කළේය. ජනිත් ලියනගේ ලකුණු 12ක් බ්ලූස් ඉනීමට එක් කරද්දී නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් දැවී SLC Blues කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. පන්දු යැවීමේදී වැඩිම කඩුලු ලාභියා වූ අසිත ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන රතු බලකායේ ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් එක් කරන්නට ලසිත් ක්‍රෝස්පුල්ලේ හා නායක කුසල් මෙන්ඩිස්ට හැකිවිය. ක්‍රෝස්පුල්ලේ ලකුණු 25ක් රැස්කළ අතර භානුක රාජපක්ෂට අද දිනයේදී ද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9ක් පමණි. අනතුරුව කමිදු මෙන්ඩිස් ලකුණු 18කින් Reds ඉනීම ශක්තිමත් කළේය. පෙර තරගයේදී මෙන්ම අද දිනයේදී ද පිටියට එක්වූ වනිදු කුසල් සුසංයෝගය රතු බලකාය ශූරතාවය කරා රැගෙන යන්නට විය.


නායක කුසල් මෙන්ඩිස් තරගාවලියේ පිට පිට දෙවන අර්ධ ශතකය රැස් කිරීමට අද දිනයේදී සමත් විය. පන්දුවාර 16 පන්දු 5ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට Reds කණ්ඩායමට හැකිවිය. නායකත්වයේ විජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 45කදී එක් හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස්කළේය. වනිදු හසරංග හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නිල් බලකාය වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිදහෙලීය. ඒ අනුව තරගාවලියේ ශූරයන් ලෙසින් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායම කිරුලු පැලැදූහ. තරගයේ වීරයා ලෙසින් කුසල් මෙන්ඩිස් සම්මානය ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් අසිත ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර විය.


කෙටි ලකුණු පුවරුව


SLC Blues කණ්ඩායම : 136/6 (20)

අශේන් බණ්ඩාර* 40(30), ලහිරු උදාර 37(40)

මහීෂ් තීක්ෂණ 2/22, අසිත ප්‍රනාන්දු 2/31


SLC Reds කණ්ඩායම : 137/3 (16.5)

කුසල් මෙන්ඩිස්* 56(45), ලසිත් ක්‍රෝස්පුල්ලේ 25(15), වනිදු හසරංග* 24(14)

ප්‍රවීන් ජයවික්‍රම 2/34, සුමින්ද ලක්ෂාන් 1/25

35 views0 comments