• Chathura Ramanayake

මේ ජයග්‍රහණයේ ගෞරවය මට ලබා ගන්න බෑ - දසුන් ශානක

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක, ආසියානු කුසලාන ජයග්‍රහණයේ ගෞරවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. තමාගේ කාර්යභාරය පහසු කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් තම ක්‍රීඩකයන්ට දසුන් ප්‍රශංසා කොට ඇත.


"වනිඳු ගිහින් ලාබාල ක්‍රීඩකයෙකුට උපදෙස් දෙනකොට ගොඩක් වෙලාවට ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි අපි හැමතිස්සෙම තීරණ ගන්න කලින් ක්‍රීඩකයන්ගෙන් උපදෙස් ගන්නවා. මේ නිසා මගේ වැඩේ ලේසියි. මට මේ ජයග්‍රහණයේ ගෞරවය ලබාගන්න බෑ. එය කණ්ඩායමට ලැබිය යුතු ගෞරවයක්."
නායකයෙකු ලෙස මට කළ හැකි හොඳම දේ තමයි, ක්‍රීඩකයෙකුට ඔවුන්ගේ දස්කම් දැක්වීමට විශ්වාසයක් ලබා දීම. එයාලට වරදින වෙලාවට මම කලබල වෙන්නේ නැහැ. හැඟීම් පාලනය කරගන්න පුළුවන් නම් කණ්ඩායමක් විදියට ගොඩක් දුර යන්න පුළුවන්."

"මම කැමති නැහැ ක්‍රීඩකයන්ට සීමාවන් පනවන්න වගේම පීඩනයක් යොදන්න. ඔබ ක්‍රීඩකයෙකුට සීමාවන් පනවනවා නම්, ඔබට ක්‍රීඩා පිටියේදී ඔවුන්ගෙන් හොඳම දේ ලබාගන්න බැහැ. කණ්ඩායමජ් විදියට අපි ඒක තේරුම් ගන්න පටන් ගත්තා. ඒ නිසා ක්‍රීඩකයන් තරමක් සැහැල්ලුවෙන් හිටිය. ඒකෙ ප්‍රතිඵල අපි ලබාගත්තා.
තරගාවලිය ආරම්භයේ දී ඉලක්කය වුණේ දෙවැනි වටයට පැමිණ තරගාවලියේ හොඳින් දස්කම් දැක්වීමයි. අපි කවදාවත් ඇෆ්ගනිස්තානයට එහෙම පරදියි කියලා හිතුවේ නෑ. අපි හොඳින් සූදානම් වෙලා තරඟාවලියට ගියේ. අපගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් ඉතා හොඳයි. ඒ නිසා අපි කලබල වුණේවත්, වැඩියෙන් දේවල් වෙනස් කළේවත් නැහැ.මොකද අපේ තියෙන දක්ෂතා අපි දන්නවා.
කණ්ඩායමේ වයසේ සාමාන්‍ය ගත්තාම අවුරුදු 24-25 පමණයි. පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, ඔවුන් තවමත් වයස අවුරුදු 23-24 ක්‍රීඩකයන්. ක්‍රීඩකයෙකුගේ හොඳම වයස සාමාන්‍යයෙන් වයස අවුරුදු 28 සහ 33 අතරයි. එබැවින් එම මට්ටමට යාමට පවා වසර පහක පමණ කාලයක් තියෙනවා ඒ දිහා බලලා තමයි මම කියන්නේ අපේ අනාගතය හොඳයි කියලා. ඩිල්ෂාන් මධුශංකට තවම වයස අවුරුදු 21 යි, මහීෂ් තීක්ෂණට 22 යි . එම ක්‍රිකට් ක්‍රීඩකයින් හොඳින් දක්ෂතා දක්වමින් ඉදිරියට ගියොත්, අවම වශයෙන් ඉදිරි වසර දහය සඳහා අපගේ ක්‍රිකට් සුරක්ෂිතයි "

4,381 views0 comments