• Chathura Ramanayake

මැක්ස්වෙල් ඇතුළු ප්‍රභලයන් කිහිපදෙනෙකු The Hundred ලීගයෙන් ඉවතට !!!



ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ග්ලෙන් මැක්ස්වෙල්, ඇඩම් සම්පා, මාකස් ස්ටොයිනිස් හා සීන් ඇබර්ට් යන ක්‍රීඩකයන් එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලියෙන් ඉවත් වී ඇත. ඒ එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට අවශ්‍යව තිබීම හේතුවෙනි.


ඇඩම් සම්පා වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙසින් නවසීලන්ත දගපන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝදි වෙල්ෂ් ෆයර් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. සෝදි බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව එංගලන්තයට පැමිණීමට නියමිත අතර ඔහුට එළඹෙන සදුදා දිනයේදී පැවැත්වෙන සදරන් බ්‍රේව් කණ්ඩායමට එරෙහි තරගය බොහෝ දුරට මග හැරෙනු ඇත. එළඹෙන බදාදා දිනයේදී ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇත.


ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම වෙනුවෙන් තරග 4කදී ලකුණු 116ක් රැස්කොට සිටින ග්ලෙන් මැක්ස්වෙල් වෙනුවට ජෝෂ් ඉංග්ලිෂ් එම කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. සීන් ඇබර්ට් වෙනුවට අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම සමගින් එක්වී ඇති අතර මාකස් ස්ටොයිනිස් වෙනුවට අයර්ලන්ත ක්‍රීඩක පෝල් සටර්ලින් සදරන් බ්‍රේව් කණ්ඩායමට එක් කොට ගෙන ඇත.


තවද ආබාධයකට ලක්වු ටයිමල් මිල්ස් වෙනුවට දහනව හැවිරිදි සමර්සෙට් ක්‍රීඩක සොනී බේකර්ද සදර්න් බ්‍රේව් සමගින් ගිවිසුම්ගතව ඇත. කොදෙව් ක්‍රීඩක සුනිල් නරායන් කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන නිසා ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩක පීටර් හැට්සෙග්ලු ඕවන් ඉන්වින්සිබල් කණ්ඩායම සමගින් එක්වීමට සූදානමින් පසුවෙයි.

630 views0 comments