• Shaminda Jayarathne

මැක්ස් වර්ස්ටාපන් ලෝක ශූරතාවයට තවත් ළං වෙයි!

ෆෝමියුලා වන් ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත ජාතික රෙඩ්බුල් ක්‍රීඩක මැක්ස් වර්ස්ටාපන් තවදුරටත් සමීප වී තිබෙනවා. ඒ ඊයේ දිනයේදී පැවති නෙදර්ලන්ත අදියර ජයග්‍රහණය කිරීමත් සමගයි. මේ ඔහු විසින් පිට පිටම සිව්වන වතාවට ජයග්‍රහණය කළ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර වීමත් විශේෂත්වයක්.


ඊයේ දිනයේදී නිමාවට පත් වූ නෙදර්ලන්ත අදියරේ ජයග්‍රහණය වර්ස්ටාපන් දිනා ගනිද්දී දෙවන ස්ථානය මර්සිඩීස් කණ්ඩායමේ ජෝර්ජ් රසල් හට හිමි වුණා. තෙවන ස්ථානය ෆෙරාරි ක්‍රීඩක ශෝල් ලෙක්රෙක් හට හිමි වද්දී ලුවිස් හැමිල්ටන් ට හිමි වුණේ සිව්වන ස්ථානයයි. රෙඩ්බුල් ක්‍රීඩක සර්ජියෝ පෙරෙස් පස්වන ස්ථානයට පත් වුණා.


මේ වන විට සමස්ථ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන වර්ස්ටාපන් ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 310ක්. ඔහු මෙවර පැවති ග්‍රෑන්ඩ් ප්‍රික්ස් 15 කින් 10ක් ජයග්‍රහණය කළා. දෙවන ස්ථානයේ පසුවන ෆෙරාරි ක්‍රීඩක ශෝල් ලෙක්රෙක් සහ තෙවන ස්ථානයේ පසුවන රෙඩ්බුල් ක්‍රීඩක සර්ජියෝ පෙරෙස් ලකුණු 201 බැගින් ලබාගෙන සිටිනවා.


පළමු ස්ථානයේ ලකුණු 109 ක දැවැන්ත ඉදිරියක් තබාගෙන සිටිනා මැක්ස් වර්ස්ටාපන් මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරතාවය දිනා ගැනීමට වඩාත් ආසන්න වී සිටිනවා. ඔහු මෙවරද ශූරතාවය දිනා ගතහොත් එය පිට පිටම ඔහු ජයග්‍රහණය කරනා දෙවන ශූරතාවය ලෙසින් නම් වනු ඇති.

65 views0 comments