• Chathura Ramanayake

මහේලගේ යුගය අවසන් කළ මුම්බායි ඉන්දියන්ස් පිළ අලුත් ගමනක් අරඹයි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2023 වසර වෙනුවෙන් නව පුහුණුකරුවෙකු නිවේදනය කොට ඇත. ඒ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස්වී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්‍යසාධන ප්‍රධානියා ලෙසින් පත්වීමත් සමගයි.


මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු වත්මන් පුහුණුකරු මාක් බවුචර් ය. ඒ අනුව ඔහු මුම්බායි ඉන්දියන්ස් ඉතිහාසයේ හත්වන පුහුණුකරු බවට පත්වනු ඇත. මාක් බවුචර් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වන තෙක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවීමට නියමිතය.



මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලෝක ෆ්‍රැන්චයිස් ක්‍රීඩාවේ සාර්ථකම කණ්ඩායම් වලින් එකක් බව මාක් බවුචර් සදහන් කළේය. එය විශිෂ්ට නායකයන් හා ක්‍රීඩකයන් සිටින කණ්ඩායමක් බවත් ඊට නව වටිනාකමක් එක් කිරීමට බලාපොරොත්තු වන බවත් තමා බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කොට ඇත.


මුම්බායි ඉන්දියන්ස් ඉතිහාසයේ සාර්ථකම යුගය මහේලගේ යුගය බව අවිවාදයෙන් තොරව පිළිගත හැකිය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ තෙවරක් IPL ශූරතාවය දිනාගැනීමට සමත් විය. 2017 වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වන මහේල වසර 6ක් පුරාවට සිය දැනුම මුම්බායි පිළට ලබාදුනි.


මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන්


ලාල්චන්ද් රාජ්පුට් - 2008

ශෝන් පොලොක් - 2009

රොබින් සිං - 2010 සිට 2012

ජෝන් රයිට් - 2013 හා 2014

රිකී පොන්ටින් - 2015 හා 2016

මහේල ජයවර්ධන - 2017 සිට 2022

මාක් බවුචර් - 2023

2,811 views0 comments