• Chathura Ramanayake

මන්දනා පසුබසිද්දී චමරි ස්ථාන 2කින් ඉදිරියට !!


ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හා ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් ජාත්‍යන්තර එක්දින කාන්තා ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. දෙරට අතර පැවති එක්දින තරගාවලියෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රේණිගතකිරීම් ලේඛණයෙහි ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් වී ඇත.


අවසන් එක්දින තරගයේදී රැස්කළ ලකුණු 44ද සමගින් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට පැමිණීමට චමරි අතපත්තුට හැකිවී ඇත. ඒ අනුව නවතම එක්දින කාන්තා ශ්‍රේණිගතකිරීම්හි අටවන ස්ථානය ඇයට හිමිවී ඇත. ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් තරගාවලියේදී රැස්කළ ලකුණු 75ද සමගින් ඇයට ප්‍රසාද ලකුණු 12ක් එක්වද්දී ශ්‍රේණිගතකිරීම්හි 13වන ස්ථානය තෙක් එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ඇයට හැකිවිය.



මීට අමතරව සෙසු ඉන්දීය ක්‍රීඩිකාවන් වූ ශෆාලි වර්මා 33වන ස්ථානයද, යස්ටිකා භාතියා 45වන ස්ථානයද, පූජා වස්ට්‍රකාර් 53වන ස්ථානය තෙක්ද ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම 43වන ස්ථානය තෙක් එක් ස්ථානයකින්ද නිලක්ෂි සිල්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගතකිරීම්හි 47වන ස්ථානයද හිමිකොටගෙන ඇත. මේ අතර ඉන්දීය සුපිරි ක්‍රීඩිකා ස්ම්‍රිටි මන්දනා නවතම ශ්‍රේණිගතකිරීම්හි 9වන ස්ථානයට පත්වී ඇති අතර ඇය එක් ස්ථානයකින් පසු බැස ඇත.

0 views0 comments