• Shaminda Jayarathne

මන්කාඩ් කලාට කමක් නෑ! ක්‍රිකට් පිටියේ නවතම නීති සංශෝධනය!

එළඹෙන ඔක්තෝබර් මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් නීති රීතීන් 3ක් සංශෝධනය කිරීමට මාලිබෝන් ක්‍රීඩා සමාජය හෙවත් MCC මගින් තීරණය කළා. සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේ නීති රීතීන් සංශෝධනය කරන්නේ මෙම මාලිබෝන් ක්‍රීඩා සමාජය මගිනුයි. මෙම නව සංශෝධිත නීති පහත පරිදි දැක්විය හැකි වනවා.


1. මන්කාඩ් එකක් නෑ


ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමට දිව එන ක්‍රීඩකයා විසින් අනෙක් අන්තයේ සිටින පිතිකරු සීමාවෙන් ඔබ්බෙන් රැඳී සිටියි නම් කඩුල්ල බිඳ හෙල දවා ගැනීම මන්කාඩ් ක්‍රමය ලෙසින් හැඳින්වෙනවා. මෙය මුල් වතාවට සිදු කළේ ඉන්දියාවේ විනෝ මන්කාඩ් වීම එයට හේතුවයි. මෙය ඔක්තෝබර් මස 1 වනදා සිට වෙනස් වීමට නියමිතයි.


මන්කාඩ් ක්‍රමය ඉවත් කොට එය දුවද්දී දැවී යාමක් ලෙසින් නිළ වශයෙන් තහවුරු කරන බවට MCC ය විසින් නිවේදනය කොට සිටියා. මීට ප්‍රථම එලෙස ක්‍රීඩකයෙක් දවා ගැනීම යම් යම් ප්‍රශ්න ඇති කළත් වුවත් ඔක්තෝබර් මස 1 වනදා සිට එය නිසැක වශයෙන්ම දුවද්දී දැවී යාමක් ලෙසින් ක්‍රිකට් පොතට එකතු වනු ඇත.


2. නැවත පන්දුවේ ඛේටය (කෙළ) තැවරීම තහනම්


ක්‍රිකට් ක්‍රීඩාවෙව්දී පන්දුවේ ඔපය පවත්වා ගැනීම සඳහා ඛේටය භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් කොවිඩ් වයිරසය පැතිර යාම නිසාවෙන් පන්දුවේ ඛේටය තැවරීම තාවකාලිකව තහනම් කළා. එම තාවකාලික තහනම ඔක්තෝබර් මස සිට ස්ථිර කිරීමට තීරණය කොට තිබෙනවා.


3. පිතිකරු මාරු වුණත් වැඩක් නෑ


දැනට පවතින නීතියට අනුව උඩපන්දුවක් ලබා දීමේදී ක්‍රීඩකයන් දෙපළ තණතීරුව තුළ මාරු වී (Cross) සිටියහොත් අනෙක් අන්තයේ සිටින පිතිකරුවාට පන්දුවට පහර දිය හැකි වනවා. නමුත් නව නීතියට අනුව ඔක්තෝබර් මස 1 වනදා සිට කුමන තත්ත්වය යටතේ වුවත් පිටියට පිවිසෙන නවක මීළඟ පිතිකරුවා පන්දුවට පහර දිය යුතුයි.

0 views0 comments