• Chathura Ramanayake

මට ලැබෙන සෑම අවස්ථාවකම පහර එල්ල කළ යුතු බව දැනගෙන හිටියා - මොහොමඩ් නවාස්


ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ දිනයේදී පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරන්නට පාකිස්තානය සමත් විය. මෙම තරගයේදී ලකුණු 182ක ඉලක්කය හබාගිය පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නවාස් වේගවත් ඉනීමක් ක්‍රීඩා කළේය.


මොහොමඩ් නවාස් පිටියට පිවිසෙන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 63ක් රැස්කොට සිටි අතර ජයග්‍රහණය වෙනුවෙන් තවත් පන්දු 68කදී ලකුණු 119ක් අවශ්‍ය විය. මොහොමඩ් නවාස් පන්දු 20ක් තුළ ලකුණු 42ක් රැස්කළේ තරගයේ පාලනය පාකිස්තානය දෙසට හරවමිනි.


" මම පන්දුවට පහර දීමට පිටියට යන විට පන්දුවාරයකට ලකුණු 10ක් පමණ අවශ්‍ය වුනා. මට හම්බෙන අවස්ථාවලදී මම පහර එල්ල කළ යුතු බව මම දැන සිටියා. මගේ කලාපයේ පතිත වෙන සෑම පන්දුවකටම මට පිටතට පහරක් එල්ල කළ හැකි බව මනසේ පැහැදිලිව තිබුණා. මම වැඩිපුර පහරවල උත්සාහ කළේ නෑ. ඔබ පීඩනය යටතේ සිටින විට ඔබට එය කරන්න පුලුවන්"

තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා අදහස් දක්වා ඇත.

" මේක අපිට විශාල පීඩනයක් එල්ල කරපු තරගයක්. මොහොමඩ් නවාස් හා රිස්වාන් අතර සබදතාවක් ගොඩනැගෙද්දීත් අපි තරමක් සන්සුන්ව හිටියා. දේවල් ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්. නමුත් ඒ සබදතාවය ටිකක් දිගු වුණා. ඔවුන් දක්ෂ ලෙස පන්දුවට පහර දුන්නා. මෙවැනි තරග අපිට උපකාරී වෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඇතැම් පිතිකරුවන්ට යැවිය යුතු පන්දු පිළිබඳව ඉගෙන ගැනීමට බොහෝ දේ තියෙනවා. අද සිදු වූ දෙය ගැන ඇත්තෙන්ම මම සතුටු වෙනවා".

5,761 views0 comments