• Shaminda Jayarathne

මට බොහොමයක් අවස්ථා වලදී ජාතිවාදී ප්‍රකාශ වලට මුහුණ දෙන්නට වුණා - රොස් ටේලර්

රොස් ටේලර් යනු නවසීලන්තය බිහි කළ විශිෂ්ටතම පිතිකරුවන් කිහිප දෙනාගෙන් අයෙක් බව කියා මෙම සටහන ආරම්භ කළහොත් මා වඩාත්ම නිවැරදියි. ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනෙන්ම විශාල වශයෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්.


2015 සහ 2019 ක්‍රිකට් ලෝක කුසලාන අනුශූරතාවය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම් වල සහ ප්‍රථම ටෙස්ට් ලෝක ශූරතාවය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායමේත් සාමාජිකයෙක් ලෙසින් ටේලර් කටයුතු කළා. ඔහු පසුගියදා ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළ අතරම ඉන් අනතුරුව ස්වයං චරිතාපදානයක්ද එළිදැක්වීමද ටේලර් අතින් සිදු වුණා.


මෙම චරිතාපදානයේදී ඔහු විසින් ඉස්මතු කර තිබූ තැන් බොහොමයක් මේ වන විට ක්‍රිකට් පිටියේ කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඒ අතරින් වඩා විශේෂ කාරණයක් බවට පත්ව තිබෙන්නේ ටේලර් හට මුහුණ දීමට සිදුවූ ජාතිවාදී ප්‍රශ්නයි.


රොස් ටේලර් යනු සැමෝවා සම්භවයක් සහිත ක්‍රීඩකයෙක්. මේ හේතුවෙන් තමන්ට ඇතැම් සුදු ජාතික ක්‍රීඩකයන්ගේ අප්‍රසාදයට බඳුන් වීමට සිදු වූ බවට ඔහු හෙළි කොට තිබෙනවා. තමන්ට ඇතැම් අවස්ථා වලදී ක්‍රීඩක විවේකාගාරයේදී ජාතිවාදී ප්‍රකාශ වලින් සුදු ජාතික ක්‍රීඩකයන් ‍යම් යම් කතාවන් කියූ බවටද ඔහු ප්‍රකාශ කරනවා.


මෙම ක්‍රීඩකයන් නම් වශයෙන් හඳුන්වා දීමට ඔහු කටයුතු නොකළත් ඇතැම් අවස්ථා වලදී "ඔබ අපි වගේ නෙමෙයි නේ" යනුවෙන් පිතිකරණයට යාමට සූදානමින් සිටින අවස්ථා වලදී පවා සරදමට ලක් වීමට සිදූ බවට ටේලර් ගේ මතක සටහන් වල ඇතුළත්. තමන් එවැනි ප්‍රකාශ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දැක්වීමට නොගිය බවත් එවැනි ප්‍රතිචාර දැක්වීම මගින් මෙම සිදුවීම් තවදුරටත් දුරදිග යාමට ඉඩ තිබූ බව තමන්ට හැඟුන බවත් ඔහු පවසනවා.


ඒ වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කරමින් සිටියදී රාජස්ථාන් රෝයල්ස් හිමිකරු විසින් තමා ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවකදී කම්මුලට පහරවල් කිහිපයක් එල්ල කරමින් ඔබලාට විශාල මුදලක් ගෙවන්නේ මෙලෙස දැවී යාමට නොවන බවටත් පැවසූ බවට ටේලර් පැවසුවා. එම කම්මුල් පහරවල් මිත්‍රශීලී ඒවා වුණත් වෘත්තිමය ක්‍රීඩකයෙක්ට එවැනි සැලකීමක් කිරීම සම්බන්ධයෙන් තමා විමතියට පත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටියා.


තමන්ට මුහුණ දීමට සිදුවූ මේ සිද්ධීන් සම්බන්ධයෙන් මීට වසර 10 කට 15 කට උඩදී කතා කලානම් තත්ත්වය දරුණු වන බවද වර්තමානයේදී නවසීලන්තය බොහෝ සෙයින් වර්ගවාදී හැඟීම් වලින් බැහැරව සිටින නිසා මෙම සිදුවීම් කතා කිරීම ගැටලුවක් නොවන බවට හැඟී ගියා යැයි රොස් ටේලර් විසින් අදහස් දක්වමින් කියා තිබුණා.

44 views0 comments