• Chathura Ramanayake

භාරත පුතුන්ගේ අභිමානය කෙලෙසූ කැන්ගරුවන්ගෙන් අති විශිෂ්ට හබායාමක්



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ රාත්‍රියේ මොහාලිහිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් පළමුව පන්දු රැකීම තෝරාගන්නේ හබාගොසින් ජයග්‍රහණය කිරීමේ අදිටනිනි.


ඉන්දීය ඉනීමේ පළමු කඩුලු 2 ලෙසින් නායක ෂර්මා හා කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයද්දී සිය සුපුරුදු රිදමයට පැමිණීමට ලෝකේෂ් රාහුල්ට හැකිවිය. රාහුල් හා සූර්‍යකුමාර් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 68ක් එක් කළ අතර රාහුල් පන්දු 35කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 55ක් රැස්කොට සිටියදී දවාගැනීමට හැස්ල්වුඩ්ට හැකිවිය.


සූර්‍යකුමාර් යාදව් පන්දු 25කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 46ක් රැස්කරද්දී ඉනීමේ අගභාගය වේගවත් කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 30කට පමණක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ අවසන් පන්දු 3හිදී හයේ පහර 3ක් එල්ල කළ පාන්ඩ්‍යා සමස්ත ඉනීම තුළ හතරේ පහර 7ක් හා හයේ පහර 5කින් මොහාලි ක්‍රීඩා පිටිය වර්ණවත් කළේය.





නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6කට ලකුණු 208ක් ඉන්දීය ඉනීම ඉදිරියේ දිස්වූ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ නේතන් එලිස් ලකුණු 30කට කඩුලු 3ක් හා හැස්ල්වුඩ් කඩුලු 2ක් බිදහෙලීය. දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු කැමරන් ග්‍රීන් අගනා පිතිහරඹයක් දියත් කරන්නට වගබලාගත්හ.


නායක ෆින්ච් ලකුණු 22කට දැවී යද්දී ස්මිත් හා ග්‍රීන් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 70ක් එක්කළහ. ග්‍රීන් පන්දු 30කදී හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 61ක් රැස්කක අතර ස්මිත් ලකුණු 35ක් ඕස්ට්‍රේලියානු ඉනීමට එක් කළේය. මැක්ස්වෙල් එක් ලකුණකටද ඉංග්ලිෂ් ලකුණු 17කටද,දැවී යද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල තරගය ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් ලකුණු 18ක් රැස්කිරීමට සමත් විය.


ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මැතිව් වේඩ් පන්දු 21කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 45ක් රැස්කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී තරගය ජයග්‍රහණය කළ අතර ඉන්දියාව වෙනුවෙන් අක්ෂාර් පටෙල් කඩුලු 3ක් හා උමේෂ් යාදව් කඩුලු 2ක් බිදහෙලීය. තුන් ඉරියව්වෙන් දස්කම් පෑ කැමරන් ග්‍රීන් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබද්දී විස්සයි විස්ස තරගාවලිය තරග 1-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවිය.

691 views0 comments