• Chathura Ramanayake

බෝල්ට් නවසීලන්ත කොන්ත්‍රාත්තුව අත් හරී.



නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙහි මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කොට තිබූ අතර ඔවුන් ඒ සදහා එකඟව ඇත. ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය එකග වී ඇත.


විස්සයි විස්ස ලීග් තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීම හා පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීම අරමුණු කොට ගනිමින් ට්‍රෙන්ට් බෝල්ට් මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට තීරණය කළේය. තිස් තුන් හැවිරිදි වියෙහි පසුවන ට්‍රෙන්ට් බෝල්ට් මේ සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කිහිපයක් සිදු කොට ඇත. ට්‍රෙන්ට් බෝල්ට් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත නව විස්සයි විස්ස ලීගය හෝ දකුණු අප්‍රිකානු ලීගයට සම්බන්ධ වීම පිළිබඳව නිවේදනය නුදුරේදීම නිකුත් කිරීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් තෝරාගැනීමට වැඩි ඉඩක් පවතින බව නවසීලන්ත ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් වයිට් සදහන් කොට ඇත. නවසීලන්ත ක්‍රිකට් ආයතනය බෝල්ට්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත්තේ තරග සංචාරයන් වෙනුවෙන් බෝල්ට්ගේ කැමැත්ත අඩුවි ඇති බවත් පවුලේ අය සමගින් වැඩි කාලයක් ගත කිරීම ඔහුගේ අපේක්ෂාව බවත්ය.


" මෙය ඇත්තටම අසීරු තීරණයක්. මෙම තීරණය සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය දැක්වූ සහයෝගයට ඔවුන්ට ස්තුතිය පළකරනවා." මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම කුඩා කාලයේ ඉදන් තිබ්බ හීනයක්. පසුගිය වසර 12 තුළ නවසීලන්ත කණ්ඩායම සමගින් ලගා කරගත් දේවල් සම්බන්ධයෙන් මම ආඩම්බරයක් වෙනවා." යනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් සදහන් කොට ඇත.


නමුත් ට්‍රෙන්ට් බෝල්ට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. තවමත් රට නියෝජනය කිරීමට තමාට දැඩි ආශාවක් ඇති බවත් ජාත්‍යන්තර මට්ටම වෙනුවෙන් තවමත් තමා සතුව කුසලතා ඇති බවත් ට්‍රෙන්ට් බෝල්ට් සදහන් කොට ඇත.තවද වේගපන්දු යවන්නෙකු ලෙස තමාට සීමිත කාල සීමාවක් පමණක් ඇති බවත් ඒ හේතුවෙන් ඊළඟ අදියරට යොමුවීමට තමා අපේක්ෂා කරන බවත් බෝල්ට් සදහන් කොට ඇත

3,129 views0 comments