• Chathura Ramanayake

බ්‍රෑඩ් හැඩින්, අවසන් පන්දුවේදී බංග්ලාදේශයෙන් තරගය උදුරා ගනී.


Road Safety ලෝක ශූරතා තරගාවලියේ 11වන තරගය අද රාතියේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි. කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියා නායක ශේන් වොට්සන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 158ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ එලියාස් සනී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 32ක් රැස්කළේය.


ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමේ  වේගපන්දු යවන ක්‍රීඩක ජෝන් හැස්ටින් සිය පන්දුවාර දෙක තුළදී වයිඩ් ලකුණු 26ක් බංග්ලාදේශ ඉනීමට එකතු කරන්නට විය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් බංග්ලාදේශ ලකුණු පුවරුවට වයිඩ් ලකුණු 33ක්ද සමගින් අතිරේක ලකුණු 39ක් එක් කළහ.



ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් නායක ශේන් වොට්සන් පන්දු 21කදී ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය. ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් පිළ වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බ්‍රෑඩ් හැඩින්  පන්දු 37කදි හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමිනි.


ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට,අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 21ක් අවශ්‍ය වූ අතර අබ්දුල් හසන්ට එරෙහිව එය රැස්කිරීමට බ්‍රෑඩ් හැඩින් වගබලාගත්තේ ඕස්ට්‍රේලියාවට කඩුලු 3කින් තරගයේ ජය උරුම කර දෙමිනි.


බංග්ලාදේශය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑ එලියාස් සනී පන්දුවාර 4 තුළදී ලකුණු 8කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. අබ්දුර් රාසාක් ලකුණු 26ට කඩුලු 2ක් බිදහෙලීය. ඒ අනුව Road Safety ලෝක ශූරතා තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට තිබූ අවස්ථාව බංග්ලාදේශ ලෙජන්ඩ්ස්  පිළට අහිමි විය. ඔවුන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත් විය.

3,541 views0 comments