• Chathura Ramanayake

බාබර් හා රිස්වාන් යුගලය වාර්තා පොත් අලුත් කරයි.


සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 200ක ඉලක්කය ඉතා පහසුවෙන් හබායාමට බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් සමත් විය.


ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ලට ලකුණු 203ක නොබිදුනු සබදතාවක් ගොඩනගන්නට සමත් වද්දී එය වාර්තා පොත් අතරට ඇතුළත් වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හඹායාමකදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු හොදම සබදතාවය ලෙසිනි.


මෙලෙසින් බාබර් හා රිස්වාන් බිදහෙලූයේ පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් විසින්ම රැස්කළ ලකුණු 197ක වාර්තාවයි.

එමෙන්ම පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ශතක දෙකක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත් වන්නටද බාබර් අසාම්ට හැකිවිය.



පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නායකයෙකු රැස්කළ ඉහළම ශතක ගණන වාර්තා කරන්නට බාබර් අසාම් සමත් වූයේ නායකත්වය දරණ සමයේදී සිය දසවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශතකය වාර්තා කරමිනි. මින් පෙර එම වාර්තාව ශතක 9ක් රැස්කළ හිටපු නායක ඉන්සමාම් උල් හක් සතු විය.


එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ශතක සබදතාවයන් ගොඩනැගූ පිතිකරු යුගලය ලෙසින් අසාම් හා රිස්වාන් වාර්තා පොත් අතරට එක්ව ඇත්තේ ශතක සබදතාවයන් 7ක් ගොඩනගමිනි. එම ලයිස්තුවේ දෙවන තැන ශතක සබදතාවයන් 5ක් ගොඩනැගූ රාහුල් හා ෂර්මාට හිමි වී ඇත.


ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ වැඩිම ලකුණු සබදතාවය තමා සතුකරගන්නට බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් සමත් විය. ඔවුන් දෙදෙනා මේ වන විට ඉනීම 36ක් තුළදී ලකුණු 1929ක සබදතාවක් ගොඩ නගා ඇත. මින් පෙර එම වාර්තාව ඉන්දීය පිතිකරු යුගලය වූ ශිකර් ධවාන් හා රෝහිත් ෂර්මා සතු වූ අතර ඔවුන් දෙදෙනා එක්ව ඉනීම 51කදී ලකුණු 1743ක් රැස්කොට තිබුණි.


විරාට් කෝලි අභිබවමින් විස්සයි විස්ස පිටියේ වේගවත්ම ලකුණු 8000 සම්පූර්ණ දෙවන පිතිකරුවා බවට පත් වන්නට බාබර් අසාම් සමත් විය. ඔහු ඉනීම 218ක් පමණක් වැයකරමින් මෙම කඩයිම පසුකළ අතර අඩුම ඉනීම ගණනකින් විස්සයි විස්ස ලකුණු 8000 සම්පුර්ණ කළ පිතිකරුවා වනුයේ ඉනීම 213කින් එම කඩයිම පසු කළ ක්‍රිස් ගේල් ය.

69 views0 comments