• Chathura Ramanayake

බාබර් අසාම් අද්විතීය ශතකයක් සමඟින් කඩුලු 10ක දැවැන්ත ජයකට මුලපුරයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද රාතියේදී කරච්චිහිදී පැවැත්විණි. ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම තරගයට එක්වූ එංගලන්ත කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු යුගලය වූ පිල් සෝල්ට් ලකුණු 30ක්ද ඇලෙක්ස් හේල්ස් ලකුණු 26ක්ද රැස්කළ නමුත් ඩේවිඩ් මාලන්ට ලකුණු නොලබා ක්‍රීඩාගාරය බලාපියමන් කරන්නට සිදුවිය.



බෙන් ඩුකට් පන්දු 22ක් තුළ හතරේ පහර 7ක් සමගින් ලකුණු 43කින් එංගලන්ත ඉනීම ශක්තිමත් කළ අතර හැරී බෲක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 31ක් රැස්කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ මොයීන් අලී පන්දු 23ක් තුළ හතරේ හා හයේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය.


පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ හැරිස් රවුෆ් ලකුණු 30කට කඩුලු 2ක්ද ශානවාස් දහානි ලකුණු 37කට කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය. දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය එංගලන්ත පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකරමින් රිසිසේ පන්දුවට පහර එල්ල කළහ.


වත්මන් විස්සයි විස්ස පිටියේ හොදම ආරම්භක පිතිකරු යුගලය තමා බව ඔප්පු කරන්නට බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් සමත් වූයේ අභියෝගාත්මක ඉලක්කය පහසුවෙන් හබායමිනි. පසුගිය තරග කිහිපයේ ලකුණු අතර නොසිටි බාබර් අසාම් අද දිනයේදී පන්දු 66ක් තුළ හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 110ක් රැස්කරද්දී ඔහුට අගනා සහයක් ලබාදුන් මොහොමඩ් රිස්වාන් පන්දු 51කදී හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය.


බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් අතර ආරම්භක කඩුල්ලට ලකුණු 203ක විජයග්‍රාහී නොබිදුනු සබදතාවක් ගොඩ නැගුනු අතර මෙය පාකිස්තාන විස්සයි විස්ස ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබදතාවයයි.


255 views0 comments