• Chathura Ramanayake

බෙන් ස්ටෝක්ස්ගෙන් දැඩි තීරණයක් !!



එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර එක්දින පිටියට සමු දීමට තීරණය කොට ඇත. එළඹෙන අඟහරුවාදා දිනයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට බෙන් ස්ටෝක්ස් තීරණය කොට ඇත.


ඒ අනුව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් සදහන් කොට ඇත්තේ තරග ආකෘති තුනම ක්‍රීඩා කිරීම තමාට යෝග්‍ය නොවන බවයි. එමෙන්ම තමා එසේ ක්‍රීඩා කිරීම තුළින් අනෙකුත් ක්‍රීඩකයන්ගේ අවස්ථාවන් අහිමි වන බව තමාට හැඟෙන බව ඔහු සදහන් කළේය.


2011 වසරේ අයර්ලන්තයට එරෙහිව එක්දින වරම් ලද බෙන් ස්ටෝක්ස් තරග 104කට ක්‍රීඩා කරමින් ලකුණු 2919ක් රැස්කොට ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් එංගලන්ත කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන් ස්ටෝක්ස් එක්දින පිටියේදී කඩුලු 74ක් දවාගැනීමටද සමත් විය.


2019 එක්දින ලෝක කුසලානය එංගලන්තයට දිනා දෙන්නට පුරෝගාමියා වූ බෙන් ස්ටෝක්ස් අවසන් මහා තරගයේ වීරයා බවට පත් විය. එම තරගයේදී නවසීලන්තයට එරෙහිව නොදැවුනු ලකුණු 84ක් රැස්කරමින් සුපිරි පන්දුවාරයක් දක්වා තරගය රැගෙන යාමට ස්ටෝක්ස්ට හැකිවිය.


" මට මෙම ආකෘතියෙන් කණ්ඩායමට අවශ්‍ය 100% ක් ලබා,දෙන්න බෑ. මෙය ඉතාමත් බැරෑරුම් තීරණයක් වුණා. මම කණ්ඩායම සමගින් ගතකරන සෑම විනාඩියකටම ආදරය කරනවා. මම මගේ සියල්ල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදෙනවා. ඒ වගේම විස්සයි විස්ස ආකෘතියට මගේ සම්පූර්ණ කැපවීම යොදන්න පුලුවන් වෙයි කියලා හිතනවා" යනුවෙන් බෙන් ස්ටෝක්ස් සදහන් කොට ඇත.

20 views0 comments