• Chathura Ramanayake

බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා කළ අවසන් එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට !!!


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින තරගය චෙසටර් ලී ස්ට්‍රීට්හිදී ඊයේ පැවැත්විණි. මෙම තරගය එංගලන්තයට වැදගත් තරගයක් බවට පත් වූයේ බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා කළ අවසන් එක්දින තරගය මෙය වීමයි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ආරම්භ කඩුල්ල ලෙසින් ලකුණු 19ක් රැස්කළ ක්වින්ටන් ඩි කොක්, සෑම් කරන් හමුවේ දැවී යද්දී ජනෙමන් මාලන් හා රසී ඩුසේන් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 109ක සබදතාවක් ගොඩනගන්නට විය.


ජනෙමන් මාලන් හතරේ පහර 5ක් සමගින් ලකුණු 57ක් රැස්කොට සිටියදී දවාගැනීමට මොයීන් අලිට හැකිවිය. අනතුරුව ඒඩ්න් මක්‍රම් සමගින් එක්ව තවත් ශතක සබදතාවක් ගොඩනගන්නට ඩුසේන්ට හැකිවද්දී දකුණු අප්‍රිකානු ඉනීමේ තෙවන කඩුල්ලෙහි සබදතාවය ලකුණු 141ක් ලෙසින් දිස්විය. සිය එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කරන්නට ඩුසේන් සමත් වද්දී ඒඩ්න් මක්‍රම් සිය හතරවන අර්ධ ශතකය වාර්තා කළේය.


දකුණු අප්‍රිකානු ඉනීමේ 46වන පන්දුවාරයේ සිව්වන හා අවසන් පන්දුවේදී මක්‍රම් හා ඩුසේන් දවාගැනීමට ලිවින්ග්ස්ටන් සමත් විය. දැවී යන විට රසී වැන් ඩුසේන් පන්දු 117කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 134ක් රැස්කළ අතර ඒඩ්න් මක්‍රම් පන්දු 61කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 77ක් රැස්කළේය. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 24ක් රැස්කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 333ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාවට හැකිවිය. මෙය කිසිදු හයේ පහරක් නොමැතිව එක්දින පිටියේ ඉනීමක වාර්තා වූ දෙවන ඉහළම ලකුණු ගණන බවටද පත් විය. කිසිදු හයේ පහරක් නොමැතිව එක්දින ඉනීමජ වැඩිම ලකුණු රැස්කොට ඇත්තේ ශ්‍රී ලංකාවයි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තේ පළමු කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනගමිනි. ආරම්භක පිතිකරු යුගලය වූ ජේසන් රෝයි ලකුණු 43ක් රැස්කළ අතර ජොනී බෙයාස්ටෝ හතරේ පහර 7ක් සමගින් ලකුණු 63ක් රැස්කිරීමට සමත් විය. සිය අවසන් එක්දින තරගය ක්‍රීඩා කළ බෙන් ස්ටෝක්ස්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. සෙසු කිසිදු පිතිකරුවකුගේ සහය නොලද නමුත් සිය වගකීම නොපිරිහෙලා ඉටුකරන්නට වගබලාගත් ජෝ රූට් පන්දු 77ක් තුළ ලකුණු 86ක් රැස්කළේ හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගිනි.


අන් කිසිදු මැදපෙළ හා පසුපෙළ පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවන්නට නොහැකි විය. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46 පන්දු 5ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 271ක් පමණි. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඇන්රිච් නෝකියා කඩුලු 4ක්ද ශම්සි හා මක්‍රම් කඩුලු 2 බැගින්ද බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් රසී වැන් ඩුසේන් සම්මාන ලැබීය.


දකුණු අප්‍රිකාව - 333/5 (50)

රසී වැන් ඩුසේන් 134(117), ඒඩ්න් මක්‍රම් 77(61), ජනෙමන් මාලන් 56(77)

ලියම් ලිවින්ග්ස්ටන් 2/30


එංගලන්තය - 271/10 (46.5)

ජෝ රූට් 86(77), ජොනී බෙයාස්ටෝ 63(71), ජේසන් රෝයි 43(62)

ඇන්රිච් නෝකියා 4/30, ඒඩ්න් මක්‍රම් 2/25, ටබ්‍රායිස් ශම්සි 2/53




26 views0 comments